ශ්‍රී ලංකාව අගෝ. 01 සිට සෑම රටකම සංචාරකයන්ට යළිත් විවෘතයිලු

රට තුළ COVID-19 වසංගතය සාර්ථකව පාලනය කිරීමෙන් පසුව 2020 අගෝස්තු මස 01 වැනි දින සිට සෑම රටකින්ම පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයන් පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව සංචාරකයන් සඳහා රට නැවත විවෘත කිරීම සඳහා ගෝලීය සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් විසින් නිර්දේශ කරනු ලබන සියලුම පූර්ව ආරක්ෂක ක්‍රමවේද සිය අධිකාරිය මගින් ක්‍රියාත්මක කර ඇතැයි එහි සභාපතිනී කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.

මේ පසුබිමත් සමග කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙන්ම හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2020 අගෝස්තු 01 වන දින සිට සියලු ජාතීන්ට අයත් ජාත්‍යන්තර සංචාරකයන් සඳහා විවෘත කෙරෙන බව අධිකාරිය පවසා සිටියි.

එහිදී වීසා බලපත්‍ර නිකුත් කිරීම අන්තර්ජාලයෙන් පමණක් සිදු කරන අතර, සංචාරය කිරීමට පෙර වීසා සඳහා අයදුම් කළ යුතුව ඇත. ඒ අනුව 2020 අගෝස්තු 01 වැනිදා සිට අන්තර්ජාල වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා වන අවශ්‍යතා ලැයිස්තුවක්ද අධිකාරිය මගින් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙරටට පැමිණීමට පැය 72කට පෙර PCR පරීක්ෂාවක් සිදු කර කොවිඩ්-19 වැළැදී නොමැති බවට ලබා ගත් ‘නෙගටිව්’ පරීක්ෂණ වාර්තාවක් අනිවාර්යය වී ඇත. එසේම අදාළ සංචාරකයා අධිකාරිය මගින් සහතික කළ නවාතැන්වල අවම වශයෙන් රාත්‍රී පහක් නවාතැන් ගත යුතුව ඇත, වලංගු ගුවන් ටිකට් පතක් මෙන්ම සෞඛ්‍ය සහ රෝහල්ගත ආවරණයක් සහිත සංචාරක රක්ෂණයක්ද එම පුද්ගලයා සතුව තිබිය යුතුය, ඊට අමතරව ඇමෙරිකානු ඩොලර් 100 ක වීසා ගාස්තුවක්ද සංචාරකයෙකුගෙන් අය කෙරේ.

මෙලෙස ඩොලර් 100ක වීසා ගාස්තුවක් අය කිරීමට හේතුව අර්ධ වශයෙන් පීසීආර් පරීක්ෂණවල පිරිවැය සහ අතිරේක සෞඛ්‍ය සහ ආරක්ෂක පියවරයන් එයින් ආවරණය කිරීම නිසා බවද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය පවසයි.

මේ අතර බොහෝ රටවල පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම දුෂ්කර වන බවත්, එය ඇතැම් රටවල මිල අධික වීමත් නිසා පැමිණීමට පැය 72කට පෙර පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාව ඉවත් කළ  හැකි දැයි අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැහැදිලි කිරීමක් ඉල්ලා ඇතැයිද ඇය සඳහන් කරයි.

මෙහිදී පැමිණෙන විදෙස් සංචාරකයින් නිරෝධායන ක්‍රියාපටිපාටියකට භාජනය විය යුතු නැති අතර, ඔවුන් සඳහා අනිවාර්යය සෞඛ්‍ය පරීක්ෂාවක්, විෂබීජ නාශක ක්‍රියාවලියක් සහ පී.සී.ආර්. පරීක්ෂණයක් නොමිලේම ගුවන් තොටුපොළේදී පවත්වන බවත් අධිකාරිය සඳහන් කරයි.

“එම පරීක්ෂණ පැය 24ක් ඇතුළත අපේක්ෂා කරන අතර, ප්‍රතිඵල පැමිණෙන තුරු සියලුම සංචාරකයන් ගුවන් තොටුපොළ ආසන්නයේ නම් කරන ලද හෝටල් වෙත පෙර වෙන්කරවාගත් ප්‍රවාහන ක්‍රම හරහා එම ස්ථාන වෙත මාරු කර යැවේ.” යනුවෙන්ද එම නිවේදනයේ සඳහන් වෙයි.

එසේම &පැමිණෙන සංචාරකයන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) හෝ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළින්  (RIA) පෑමිණියේ නම් පරීක්ෂණ ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සිටින පළමු රාත්‍රියේදී කොළඹ හෝ මීගමුවෙහි තෝරාගත් සහතික කළ හෝටලයක රැඳී සිටිය හැකි අතර හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් (MRIA) පැමිණියේ නම් හම්බන්තොට සහ ඒ අවට තෝරාගත් සහතික කළ හෝටලයක රැඳී සිටිය හැකිය. රාත්‍රී 5 කට වඩා වැඩි කාලයක් රැඳී සිටින ඕනෑම සංචාරකයෙකු සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් තවදුරටත් PCR පරීක්ෂණ නොමිලේ පවත්වනු ඇත.* නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.

Visits: 67