‘එක්ස්පෝ 2020 ඩුබායි’ වසරකට කල් දැමේ

ලබන ඔක්තෝබර් මාසයේදී එක්සත් අරාබි එමීරයේ ඩුබායි නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ ‘එක්ස්පෝ 2020 ඩුබායි’ (Expo 2020 Dubai) ප්‍රදර්ශනය වසරකින් කල් දැමීමට එහි සංවිධායකයන් තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) නිවේදනයක් මගින් සඳහන් කරයි. ඒ අනුව 2021 ඔක්තෝබර් 01 වැනිදා සිට 2022 වසරේ මාර්තු 31 වැනිදා දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යෙදී තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් අනතුරුව බිහිවන ලෝකයේ හැඩය නිර්මාණයටත්, අනාගත ලෝකය සැමටම වඩාත් යහපත් තැනක් බවට පත් කරගැනීමත් සඳහා මෙම එක්ස්පෝ 2020 ඩුබායි ප්‍රදර්ශනය යොදා ගත හැකි බව සංවිධායකයන්ගේ අදහස වී ඇත. ඒ අනුව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන Bureau International des Expositions හි සාමාජික රාජ්‍යයන්ගෙන් තුනෙන් දෙකක බහුතරයකගේ කැමැත්ත මත එය කල් දැමීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ කාර්මික අපනයනය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් මෙම එක්ස්පෝ 2020 ඩුබායි සඳහා ශ්‍රී ලංකාව සහභාගි කරවීමේ සියලු සංවිධාන කටයුතු සිදු කර තිබුණි. කෙසේ වෙතත් දේශීයව මෙන්ම ගෝලීයවත් කොවිඩ්-19 වසංගතයේ බලපෑම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ප්‍රදර්ශනය කල් දැමීම සඳහා ශ්‍රී ලංකාවද සිය ඡන්දය ලබා දී තිබේ.

මෙම එක්ස්පෝ 2020 ඩුබායි ප්‍රදර්ශනය සඳහා ලොව රටවල් 192ක ප්‍රදර්ශකයන් සහභාගිවීමට නියමිතව තිබූ අතර, එය මාස හයක කාලයක් පැවැත්වීමටත් සංවිධායකයන් කටයුතු යොදා තිබුණි. මේ සඳහා ආකර්ෂණය වෙනු ඇතැයි අපේක්ෂා කළ අමුත්තන් සංඛ්‍යාව මිලියන 25 ඉක්මවා තිබේ.

ප්‍රදර්ශනයේ කල් දැමීමත් සමගින්ම එය ප්‍රයෝජනයක් කරගෙන, ඉදිරියේදී අලුත් සැලසුම් සකස් කරමින් ශ්‍රී ලංකාවේ සන්නාම වටිනාකම තවදුරටත් දියුණු කිරීම සහ එහි ප්‍රතිරූපය ගෝලීයව තවදුරටත් ඉහළ නැංවීම සඳහා වන නවමු ක්‍රමෝපාය සමගින් රටෙහි සංචාරක, අපනයන සහ ආයෝජන ප්‍රවර්ධනය කරගැනීමට කටයුතු කරන බවද අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

එක්ස්පෝ 2020 ඩුබායි සඳහා සැලසුම් කළ ශ්‍රී ලාංකික ප්‍රදර්ශන කුටිය

එක්ස්පෝ 2020 ඩුබායි ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා සහභාගිත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු https://www.expo2020srilanka.lk/ හරහා ලබා ගත හැකිය. පෙර පැවැති සැලසුමට අනුව මෙම ප්‍රදර්ශනය 2020 ඔක්තෝබර් 20 සිට 2021 අප්‍රේල් 10 දක්වා සංවිධානය වී තිබුණි.

ඒ සඳහා වන සහභාගිත්ව එකඟතාව ශ්‍රී ලාංකික නියෝජිතයන් සහ එක්සත් අරාබි එමීර සංවිධායකයන් අතර ඩුබායි නුවරදී අත්සන් තැබුණි. එසේම මෙම එක්ස්පෝ 2020 ඩුබායි ප්‍රදර්ශන අවස්ථාවේ මෙරට සන්නාම තානාපතිවරුන් ලෙස කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධනද අපනයන සංවර්ධන මණ්ඩලය මගින් තෝරා ගෙන තිබුණි.

පෙර ලිපිය – ඩුබායි එක්ස්පෝ 2020 යාමට රජය තීරණය කරයි

Visits: 54