අලි මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා මුදල් වැය කිරීම් වසර අටකදී 110% කින් ඉහළට

මෙරට තුළ සිදුවන අලි මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා රජය විසින් වෙන් කරන මුදල් ප්‍රමාණය 2010 වසරේ සිට 2018 වසර දක්වා කාලය තුළදී 110% කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් සිදු කරන ලද අලුත්ම පර්යේෂණ වාර්තාවක මේ කරුණු සඳහන්ව තිබේ.

ඒ අනුව අලි වෙඩි, වන්දි ගෙවීම්, වන අලි පරිස්ථාපනය සහ වන අලි පලවා හැරීම යන අලි මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වන ප්‍රධාන ක්‍රම හතර සඳහා මෙම මුදල් වියදම් වීම සිදුව ඇතැයි පැවසෙයි. 2010 වසරේදී මේ සඳහා රුපියල් මිලියන 92ක මුදලක් වැය වී ඇති අතර, 2018 වසරේදී එය රුපියල් මිලියන 194 දක්වා ඉහළ නැග ඇත.

සුපුන් ළහිරු ප්‍රකාශ්, ආචාර්ය ඒ. ඩබ්ලිව්. විජේරත්න සහ ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සහ සංරක්ෂණ පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් සුපුන් ළහිරු ප්‍රකාශ්, ආචාර්ය ඒ. ඩබ්ලිව්. විජේරත්න සහ ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු යන පර්යේෂකයින් මෙම අධ්‍යනය සිදුකර ඇත.පසුගියදා එය අලින් සම්බන්ධයෙන් පළ කෙරෙන Gajah ජර්නලයේ පළ වී තිබේ.

එහි සඳහන් ආකාරයට අලි මිනිස් ගැටුම පාලනය කිරීමේ අරමුණින් දිවයින පුරා වාර්ෂිකව නව විදුලි වැට කිලෝමීටර් 267ක් පමණ (පැරණි විදුලි වැට නවීකරණය සහ ප්‍රතිස්තාපනය කිරිමට අමතරව) ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කාලසීමාව තුළදී කටයුතු යොදා ඇත. එසේම මහා පරිමාණයේ වන අලි පලවාහැරීම් 10ක් පමණ (දෙපාර්තමේන්තුව මගින් කුඩා අලි පලවා හැරීමේ මෙහෙයුම් සිය ගණනක් දිනපතා සිදු කරයි.) වසරක් පාසා සිදු කර තිබේ.

අලි – මිනිස් ගැටුම පාලනය සඳහා ගිය වියදම්

කෙසේ වෙතත් අද වනවිට දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක දහනමයක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131ක අලි මිනිස් ගැටුම් වාර්තා වන බව මෙම වාර්තාව පෙන්වා දෙයි. එසේම ගැටුම් වාර්තාවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාවත් වාර්ෂිකව ඉහළ ගොස් තිබේ.

එසේම වසරේ සෑම කාලසීමාවකම නොවෙනස්ව අලි මිනිස් ගැටුම් මගින් අල – මිනිස් ජීවිත රටට අහිමි වන බවත් වාර්තාව සඳහන් කරයි. මෙම අධ්‍යයන කාලසීමාව තුළදී අලි -මිනිස් ගැටුම් හේතුවෙන් මිනිස් ජීවිත 807 ක් අහිමි වී ඇති අතර එය වසරකට ජිවිත 81ක් අහිමිවීමේ තත්ත්වයකි. එසේම එම කාලසීමාව තුළදී අලි ඇතුන් 2631ක් මරණයට පත්ව ඇති අතර, එය වසරකට මරණ 263 කි.

වාර්ෂික මිනිස් මරණ

මීට අමතරව මිනිසුන්ට සිදුවූ ශාරීරික හානි 579ක් සහ දේපළ හානි 10,532ක්ද මෙම කාලසීමාවේදී වාර්තා වී ඇතැයි මෙම පර්යේෂණය මගින් අනාවරණය වී ඇත.

වාර්ෂික අලි මරණ

&මෙලෙස වසර පුරාම අලි – මිනිස් මරණ වාර්තාවීමට වාරි ජලය මගින් වගා කිරීම ප්‍රධානම හේතුවෙක් වෙලා. වසරේ සෑම කාලසීමාවකද කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම, බහුවාර්ෂික භෝග වගාව, නිවෙස්වල අස්වනු තැන්පත් කර තැබීම, අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශවල වසරේ සෑම කාලසීමාවකම ජනතාව අනාරක්ෂිතව හැසිරීම වැනි කරුණු හේතු විය හැකියි.* වාර්තාව පවසයි.

විශේෂයෙන්ම අවිද්‍යාත්මක සහ යල්පැනගිය අලි – මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රම සහ අක්‍රමවත් සංවර්ධන ක්‍රියාකාරකම් අලි – මිනිස් ගැටුම් ඉහළ යාමට හේතුව බව පර්යේෂකයන් මෙහිදී පෙන්වා දෙයි.

අලි – මිනිස් ගැටුම් අධි අවධානම් ප්_රා.ලේ. කොට්ඨාශ

Visits: 44