පාස්කු ප්‍රහාරය නිසා ෂැන්ග්‍රි-ලා ආදායම් ඩොලර් මිලියන 13 කින් අඩුවෙලා

ෂැන්ග්‍රි-ලා සමූහයට අයත් ෂැංග්‍රි-ලා කලම්බු සහ ෂැන්ග්‍රි-ලා හම්බන්තොට ගොල්ෆ් රිසෝට් ඇන්ඩ් ස්පා යන හෝටල් දෙකෙහි ආදායම් පසුගිය 2019 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 13.1කින් පහත වැටී ඇතැයි පවසයි. විශේෂයෙන්ම 2019 අප්‍රේල්  21 වැනිදා එල්ල වූ පාස්කු දින බෝම්බ ප්‍රහාරය නිසා සිදුවූ සංචාරක වෙන් කරගැනීම්හි අඩුවීම මෙම ඍණ බලපෑම සඳහා හේතු වූ බව සමාගම සඳහන් කරයි.

හොංකොං කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන හොංකොංහි පිහිටි ෂැන්ග්‍රි-ලා හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගම සිය 2019 වසරේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

එහි සඳහන් ආකාරයට 2019 වසරේදී හෝටල් දෙක වෙත සිදු වුණු සංචාරක පැමිණීම් 2018 වසරේදී පැවැති 42% මට්ටමේ සිට 30%ක් දක්වා පහත වැටී ඇත.

එසේම මෙම හෝටල් දෙක  2019 දෙසැම්බර් 31 වැනිදායින් වසර සඳහා ලබා ගෙන ඇති සමස්ත ආදායම ඩොලර් මිලියන 27.1ක් ලෙස සටහන් වී ඇත. එහෙත් එය 2018 වසරේදී හෝටල් දෙක ලබා ගත් සමස්ත ආදායම මෙන් 32.6%ක අඩුවීමකි.

“අප්‍රේල් මාසයේදී සිදුවුණු මෙම බෝම්බ සිදුවීම නිසා හට ගත් ඍණාත්මක සංචාරක බලපෑම නිසා තමයි අපේ ආදායම දරුණු ලෙස පහත වැටුණේ.” ෂැන්ග්‍රි-ලා සමූහය සිය කොටස් පාර්ශ්වකරුවන් වෙත දන්වා ඇත.

මෙම පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවේ එක් ඉලක්කයක් බවටද ෂැන්ග්‍රි-ලා කලම්බු හෝටලය පත් වූ අතර, එහිදී පුපුරා ගිය බෝම්බයෙන් ජීවිත සහ දේපළ රැසක් අහිමි විය. එසේම තවත් බොහෝ පිරිසක්ද ඉන් තුවාල ලැබූහ. කෙසේ වෙතත් ඉතාමත් ඉක්මණින් හානි වූ දේපළ යළි ප්‍රතිසංස්කරණය කරමින් මෙහෙයුම් ආරම්භ කිරීමටද ඔවුන් සමත් විය.

මෙම ෂැන්ග්‍රි-ලා කලම්බු හෝටලය සතුව කාමර 500 ක් පවතින අතර, ෂැන්ග්‍රි-ලා හම්බන්තොට ගොල්ෆ් රිසෝට් ඇන්ඩ් ස්පා සතුව කාමර 274ක් ඇත.

2018 වසරේදී ලැබූ ආදායම් අඩුවීමත් සමගම ෂැන්ග්‍රි-ලා සමූහය 2019 වසරේදී සිය පාරිභෝගිකයන් වෙත එක්සත් ජනපද ඩොලර් 147ක වට්ටම් මිලකට කාමර ලබා දීම සිදු විය. 2018 දී එම කාමර වටිනාකම ඩොලර් 161 ක් විය.

කෙසේ වෙතත් ෂැන්ග්‍රි-ලා හෝටල් සමූහය 2018 වසරේදී අත්කරගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 18.6ක පාඩුව පසුගිය වසරේදී ඩොලර් මිලියන 15.3ක් දක්වා අඩු කරගැනීමටද සමත්වීමත් මෙහිදී කැපී පෙනෙයි.

මේ අතර, ෂැන්ග්‍රි-ලා සමූහය සිය වන්ගෝල් ෆේස් මිශ්‍ර ව්‍යාපෘතියේ කාර්යාල සහ සාප්පු සංකීර්ණ අලෙවි කිරීමෙන්  2019 නොවැම්බර් මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 2ක ආදායමක් ඉපැයීමටද සමත් වී තිබේ. එහිදී වන් ගෝල් ෆේස් සතු නිවාස 390 න් 76%ක් පමණ අලෙවි කරගැනීමටද ඔවුන්ට හැකියාව ලැබී ඇත.

“වන් ගෝල් ෆේස්, කලම්බු හි නිවාස ඒකක 390ක් පිහිටා තිබෙනවා. ඉන් නිවාස 372ක් අලෙවිය සඳහාත් – නිවාස 18ක් කුලී පදනම මත ලබාදීමටත් නියමිතයි. 2019 දෙසැම්බර් 31 වැනිදා වනවිට මෙම නිවාස අතරින් 283 ක් එනම් සමස්තයෙන් 76%ක්ම අලෙවි වී තිබුණා. අලෙවි වූ නිවාස අතරින් 238ක් එනම් 84%ක්ම ගැනුම්කරුවන්ට ලබාදීමටත් එය සමූහය ලැබූ ආදායමක් ලෙස සැලකීමටත් අපට හැකි වුණා.” සමාගම සිය වාර්තාවේ සඳහන් කර තිබේ.

2019 වසර අවසන් වන විට ෂැන්ග්‍රි-ලා සමූහයට ශ්‍රී ලංකාව තුළ අයත් හෝටල් සතුව තිබූ සමස්ත වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 241.3 කි. එය 2018 වසරේ පැවැති ඩොලර් මිලියන 261ට සාපේක්ෂව යම් අඩුවීමක් පෙන්නුම් කර තිබේ. එසේම ෂැන්ග්‍රි-ලා හි ආයෝජන දේපළ සතු වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 287.9 කි.

Visits: 79