වැලි ඉල්ලුම වැඩි නිසා මිල ඉහළ දැමීමක් පිටුපස මාෆියාවක්

වර්තමානයේදී වෙළෙද පොළ තුළ වැළි සඳහා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවත්, එහි ආර්ථික වාසි ලබා ගැනීම සඳහා ප්‍රබල කණ්ඩායම් රැසක් මැදිහත්වී වෙළෙඳ මාෆියාවක් ඇති කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසයි.

එහිදී මෙම පිරිස් දැනට ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරීම වාසියක් බවට පත් කරගනිමින්, පනවා ඇති නීති රීති සියල්ල උල්ලංඝනය කරමින් පරිසර පද්ධතියටද දැඩි හානි සිදු කරමින් කටයුතු කරන බව දැකගන්නට ලැබී ඇතැයිද සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යටතේ ජනතාවට වඩා විධිමත් හා ඵලදායී ලෙස සහන ලබා දීම සඳහා ඛනිජ වැලි ප්‍රවාහනය සම්බන්ධයෙන් තිබූ නීතිමය තත්ත්වයන් පසුගිය දෙසැම්බර් මාසයේ සිට තාවකාලිකව නතර කිරීමට පියවර ගත්තා. එහෙත් කූට ව්‍යාපාරික කණ්ඩායමක් වෙළෙඳ මාෆියාවක් ඇති කරමින්, එහි වාසි ලබා ගැනීමේ උත්සාහය අනුව 2020 පෙබරවාරි 18 වන දින කාර්යාංශය ජනපතිවරයා හා පැවැත්වූ සාකච්චාවකින් පසුව, පෙර ප්‍රවාහන බලපත්‍ර ලබාදීමේදී අනුගමනය කරන ලද සංකීර්ණ කොන්දේසි ලිහිල් කරමින්  2020 මැයි 11 දින සිට සරල ප්‍රවාහල බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගත්තා.”

එම ක්‍රමවේදය යටතේ කැණීම් බලපත්‍ර හිමියාට ප්‍රවාහන බලපත්‍ර ලබාදීමේදී ව්‍යාපාරික පහසුව තකා වැඩි ඉඩක් සලසා දී ඇතැයි පවසන සභාපතිවරයා, මෙම ප්‍රවාහන බලපත්‍රය සඳහා කාර්යාංශය මගින් අය කරන්නේ රුපියල් 106.20 ක මුදලක් පමණක් බවත් පවසා සිටියි.

එහෙත් ඇතැම් වැලි තොටුපොලවලින් වැලි කියුබ් එක්ක සඳහා උපරිම සීමාව ඉක්මවා මිල ගණන් අය කරමින් වෙළෙඳ පොළේ වැලි සඳහා ඉහළ කෘත්‍රිම මිලක් නිර්මාණය කිරීමට අර අදිමින් සිටින බවත් සභාපතිවරයා පෙන්වා දෙයි. එවැනි තත්ත්වයක් නිර්මාණය කොට නැවත ප්‍රවාහන බලපත්‍රය අහෝසි කර ගැනීම මේ ජාවාරම්කරුවන්ගේ අභිප්‍රාය වී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

“කෙසේ වෙතත් මේ වනවිට කැණීම් බලපත්‍ර හිමියන් විසින් වැලි ලොරි වෙත අදාළ ප්‍රවාහන අවසර බලපත්‍රය ලබාදීමේදී කාර්යාංශය විසින් නියම කර ඇති මිලට වඩා වැඩි මුදලක් අය කරගැනීමට කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී ඇත. වංචනික ලෙස එසේ අය කරගත් මුදල රුපියල් 6,000ක් පමණ වන බව තහවුරු වී තිබේ.“ සභාපතිවරයා පවසයි.

මෙලෙස ප්‍රවාහන බලපත්‍ර මගින් අයථා ලෙස මුදල් අය කරගැනීමේ කටයුත්ත වෙළෙඳ පොළ තුළ කෘත්‍රිම වැඩි මිලක් නිර්මාණය කර ප්‍රවාහන බලපත්‍ර නැවත අවලංගු කර ගැනීම සඳහා බවටද සභාපතිවරයා පවසයි. එය යම් කිසි සංවිධානාත්මක පිරිසක් විසින් ක්‍රියාත්මක කරනු ලබන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට මේවනවිට තොරතුරු හෙළිදරව්වී ඇතැයිද සභාපතිවරයා සඳහන් කරයි.

“මේ තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ඉදිරියේදී ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කයන්ට අදාළව නිශ්චිත වැලි මිලක් හඳුන්වාදීමට අවශ්‍ය වැඩපිළිවෙලක් කාර්යාංශය මගින් මේ වනවිටත් සකස් කරමින් යනවා. එය ඉදිරි සති දෙකක කාලයක් තුළදී හඳුන්වාදීමට කටයුතු කරනු ඇත.” සභාපතිවරයා වැඩි දුරටත් පවසා සිටියි.

එසේම වැලි කැණීම් සඳහා බලපත්‍ර ලබාදීමේදී ද අදාළ බලපත්‍රය වෙනත් පාර්ශ්ව සඳහා පැවරීම තහනම් වන අතර, අදාළ දිස්ත්‍රික්කයේ ස්ථර පදිංචිකරුවන්ට මූලිකත්වය ලබා දෙමින්, වැළි කැණීම් බලපත්‍ර නිකුත් කර ඔවුන්ගේ ජන ජීවිත නගා සිටුවීමට හා පාරිසරික සුරක්ෂිතභාවය තහවුරු කිරීමටද කාර්යාංශය මගින් ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට නියමිත බවද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කරයි.

මේ අතර ඊයේ දිනයේදී නිවේදනයක් නිකුත් කළ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා, වැඩි මිලට වැලි විකුණන වැලි තොටුපොළ හිමියන්ගේ කැණීම් බලපත්‍ර අහෝසි කරන බවටද ප්‍රකාශ කළේය.

“මෙය ජාවාරම්කාර වැලි මාෆියාවේ නියැළෙන කිහිප දෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියාවකි. මොවුනට එරෙහිව දැඩි නීතිය ක්‍රියාත්මක කිරීමට මා තීරණය කර ඇත. දැනටමත් ඒ සඳහා වැටලීම් අරඹා තිබේ. එවැනි අයථා ක්‍රියාවල යෙදෙන වැලි තොටුපොළ හිමියන්ගේ කැණීම් බලපත්‍ර තහනම් කිරීමටත්, උපරිම නීතිය ක්‍රියාවේ යෙදවීමටත් මා පැකිලෙන්නේ නැත. ඒ අනුව  2020.06.01 දින සිට එම අයථා ක්‍රියා මැඩලීම සඳහා සරල බලපත්‍ර ක්‍රමයක් අප කාර්යාංශය මගින් ක්‍රියාවට නංවා තිබේ.” සභාපතිවරයා පවසයි.

Visits: 75