CSE ඩිජිටල්කරණයට SEC අනුමැතිය

කොළඹ කොටස් වෙළෙඳ පොළ (CSE – Colombo Stock Exchane) ගනුදෙනු කටයුතු කඩදාසි පාදක කරගත් ක්‍රමවේදයකින් තොරව ඩිජිටල් පාදක පරිසරයක් යටතේ සිදු කිරීම සඳහා අවශ්‍ය වන සංශෝධන සඳහා අනුමැතිය ලබා දීමට කටයුතු කළ බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නියාමකයා වන සුරැකුම්පත් හා  විනිමය කොමිෂන් සභාව (SEC – Securities and Exchange Commission) පවසයි. එම ආයතන දෙක එක්ව පසුගියදා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක මේ බව සඳහන් වෙයි.

පසුගිය කාලසීමාවේදී කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ඩිජිටල්කරණයට ලක් කිරීමේ ඇති අවශ්‍යතාව සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති විය. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයේ බලපෑමත් සමගම කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු දින 51 ක කාලයකට වසා දැමීමට තීරණය කිරීමටත් එහි කටයුතු ඩිජිටල් ආකාරයෙන් සිදු කිරීමේ අවස්ථාව පැවතියේ නම් එවැන්නක් සඳහා යොමු නොවීමට ඉඩ තිබුණු බවත් බොහෝ දෙනාගේ අදහස විය.

කොවිඩ්-19 නිසා පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් බැංකු වසා දැමීමත්, තැපැල් සේවාව අඩපණවිමත් යන කාරණා හේතුවෙන් කොටස් වෙළෙඳපොළ ආයෝජකයන්ට ගනුදෙනු සිදු කිරීමේ අපහසුතාවන් පැවතීම මෙලෙස දින 51ක කාලයක් කොටස් වෙළෙඳ පොළ වසා දැමීම සඳහා මූලිකවම හේතුවූ බව පසුව අනාවරණය විය.

ඒ අනුව, කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඩිජිටල්කරණයට ලක් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් එහි කොටස් වෙළෙඳ පොළ මගින් ඉදිරිපත් කරන කොටස්තැරැව්කරුවන්ට අදාළ රෙගුලාසි, නව ගිණුම් (CDS – Central Depository Sytems) ආරම්භ කිරීමට අදාළ රෙගුලාසි මෙන්ම සමාගම් ලැයිස්ගත කිරීමට අදාළ රෙගුලාසිද සංශෝධනය සඳහා අනුමැතිය ලබා දීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකාබද්ධ හමුව කොටස්තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් සමගින්.

“මෙම නව සංශෝධිත නියමයන් යටතේ, කොටස් තැරැව්කාර සමාගම් මගින් සිය ගනුදෙනුකරුවන් වෙත යැවෙන ගිණුම් ප්‍රකාශ සහ ගැණුම් සහ විකුණුම් සටහන් මෙන්ම CDS  ගිණුම් පිළිබඳ මාසික ප්‍රකාශ සියල්ලම කඩදාසියේ සිට ඉලෙක්ට්‍රොනික පිටපත් දක්වා වෙනස් කිරීමට කටයුතු කෙරෙනවා. ඒ වගේම මේ සංශෝධිත නීති හරහා ලැයිස්තුගත සමාගම් වෙත ඔවුන්ගේ වාර්ෂික වාර්තා කොටස් හිමිකරුවන් වෙත මුද්‍රිත ආකාරයෙන් යැවීමට වඩා ඩිජිටල් ආකාරයෙන් යැවීමට පහසුකම් සලසනවා. ඒ වගේම ලාභාංශ ගෙවීමත් ඉලෙක්ට්‍රොනික බැංකු හුවමාරු ක්‍රමය හරහා සිදු කළ හැකි වේවි.”

ඒ අනුව ආයෝජකයන්ට සිය ඉමේල් ලිපිනය, බැංකු ගිණුම් අංක සහ ජංගම දුරකතන අංක තමන්ගේ කොටස්තැරැව්කාර සමාගම් වෙත ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී උනන්දු කරවීමක් සිදු කරන බවත්, ඒ හරහා කිසිදු බාධාවකින් තොරව ඔවුන්ට අදාළ ප්‍රකාශන ගෙන්වා ගැනීමේ හැකියාවක් ලැබෙන බවත් මෙම නිවේදනයේ සඳහන් වෙයි.

“සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකාබද්ධ කමිටුවක් මගින් දියත් කරන ලද වෙළෙඳ පොළ ඩිජිටල්කරණයට ලක් කිරීමේ මුලපිරීම යටතේ ගනු ලැබූ වෙනස්කම්වල කොටසක් විදියට මේවා හඳුන්වන්න පුළුවන්. මේ මුලපිරීම් යටතේ ආයෝජකයාට අන්තර්ජාලය හරහා ගිණුමක් විවෘත කිරිමේ පහසුකම ලබා දීමෙන් ඔහුට හෝ ඇයට කොතැනක හෝ සිට සී.ඩී.එස්. ගිණුමක් විවෘත කළ හැකියි. ඒ වගේම ගනුදෙනු ආරම්භ කරමින් ඊට අදාළ ගෙවීම් කිසිදු ආකාරයකට කොටස් තැරැව්කාර ආයතනයක කාර්යාලයක් වෙත නොයා ඉලෙක්ට්‍රොනික ක්‍රමයට සිදු කිරීමේ අවස්ථාව තිබෙනවා.

දැනටමත් සියලුම කොටස් තැරැව්කාර සමාගම් හරහා අන්තර්ජාලය පාදක කරගනිමින් ගනුදෙනු කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම සී.ඩී.එස්. පද්ධතියක් තුළ ගිණුම් නිර්මාණය සහ ඒවා පවත්වාගෙන යාම සහ කොටස් තැරැව්කාර සමාගම් සහ බැංකු අතර මුදල් ගෙවීම් සියල්ලමත් මේවනවිට සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොනික ක්‍රමයට සිදු වෙනවා. ඒ අනුව සියලුම ආයෝංකයන්ට අන්තර්ජාල ගනුදෙනු සහ අන්තර්ජාල බැංකු සේවා වෙත කඩිනමින්ම යොමු වන ලෙස පවසන්නට කැමතියි.” නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

කෙසේ වෙතත්, දැනටත් කොටස් තැරැව්කාර සමාගම් හරහා ගිණුමක් විවෘත කිරීමේ කටයුතු කඩදාසි පාදක කරගත් ක්‍රමය යටතේ සිදු වෙන බවත්, දේශීය තනි පුද්ගල ආයෝජකයන් පසුගනුදෙනු පියවීම් සඳහා බහුලවම චෙක් පාදක කරගත් ක්‍රමවේද යොදා ගන්නා බවත් මෙම නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව ඉදිරියේදී මෙම ක්‍රමවේද සියල්ලම ඉලෙක්ට්‍රොනික ක්‍රමය පාදක කරගත් අවස්ථාවක් වෙත යොමු කරන බවත්, ඒ හරහා කැපී පෙනෙන මෙහෙයුම් කාර්යක්ෂමතාවක් සිය පද්ධතිය වෙත ගෙන්වා ගැනීමටත්, පාරිභෝගිකයන්ගේ අත්දැකීම් සහ පහසුකම තවදුරටත් ඉහළ නැංවීමටත් කටයුතු කරන බව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ එක්ව පවසා සිටියි.

එසේම මෙම මුල පිරීම් ඉදිරියේදී ඇති වන බලාපොරොත්තු නොවන බාධාවීම් අවස්ථාවලදී කිසිදු අවහිරතාවකින් තොරව වෙළෙඳ පොළ මෙහෙයුම් පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබා දෙනු ඇතැයිද එම ආයතන දෙක විශ්වාසය පළ කරයි.

Visits: 329