වාතයේ පිරිසුදුබව මැනීමට ඩයලොග් ‘VAAYU’ හඳුන්වාදෙයි

ඩයලොග් ආසිආටා සමාගම, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සමගින් එක්ව දිවයින පුරා වාතයේ ගුණාත්මකබව නිරීක්ෂණය කෙරෙන පද්ධතියක් හඳුන්වාදුන් බව පවසයි. ඊයේ (ජූනි 05) දිනයට යෙදුනු ලෝක පරිසර දිනයට සමගාමීව ඩයලොග් සමාගම මෙම නව හඳුන්වාදීම සිදු කර ඇත.

ඒ අනුව www.vaayu.lk නම් වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් තමා අවට ඇති වාතයේ ගුණාත්මක බව පිළිබඳව විමසා බැලීමේ හැකියාව ලැබෙන බව සමාගම පවසයි.

එහිදී තමන් ආශ්වාසයට ගන්නා වාතයේ පිරිසිදු බව සහ ඔබ අවට ඇති පරිසරයේ වාතයේ ගුණාත්මක බව දැනගෙන එම දූෂිත වායුගෝලය හරහා ඇතිවිය හැකි අහිතකර සෞඛ්‍ය බලපෑම් මඟහැරවීමට කටයුතු යෙදීමට මේ හරහා අවස්ථාව ලැබෙන බව ඩයලොග් ආසිආටා සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

තවමත් කොළඹ නගරයේ වාතයේ ගුණාත්මකබව නිරීක්ෂණය සඳහා පමණක් මෙම වායු වැඩසටහන ක්‍රියාත්මක අතර ඉදිරියේදී එය සමස්ත දිවයිනම ආවරණය වන පරිද්දෙන් ඉදිරිපත් කරන බවද ඩයලොග් ආසිආටා පවසයි.

මෙම වෙබ් අඩවිය තුළ වායුගෝලයේ ඝනමීටරයකට ඇති අහිතකර අංශු ප්‍රමාණ, උෂ්ණත්වය, ආර්ද්‍රතාවය යනාදී දත්ත පෙන්වයි. එසේම ජාත්‍යන්තරව පිළිගත් වාතයේ ගුණාත්මකබව පිළිබඳ දර්ශකයට‍ (Air Quality Index)  අනුව අප සිටින ස්ථානයේ ඇති වාතයේ ගුණාත්මක බව පිළිබඳ තොරතුරු ලබා දෙයි. එසේම ඔබ අවට ඇති වාතය අපිරිසිදු නම් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගද මෙහිදී සඳහන් කරයි.

Visits: 76