ලංකෙම් තීන්ත අලෙවිය අඩු වුණාට කෘෂි රසායන ඉල්ලුම ඉහළටලු

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රට පුරා පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් සිය ලංකෙම් %රොබියලැක්^ තීන්ත අලෙවියට කැපී පෙනෙන බලපෑමක් එල්ල වූ බව ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම පවසයි. විශේෂයෙන්ම වසරේ තීන්ත පරිභෝජනය ඉහළ යන නව අවුරුදු සමය යෙදෙන මාර්තු සහ අප්‍රේල් කාලසීමාවේදී මෙම ඇඳිරි නීතිය පැනවීම  එම බලපෑම වැඩි කිරීමට හේතු වී තිබේ.

මෙම කොවිඩ්-19 වසංගත තත්ත්වය සිය ව්‍යාපාර මෙහෙයුම් වෙත සිදු කර ඇති බලපෑම පැහැදිලි කරන ලෙද කොළඹ කොටස් වෙළෙඳපොළ සිය ලැයිස්ගුත සමාගම් වෙතින් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම මේ කරුණු අනාවරණය කර සිටියි.

“මෙම මාස දෙකක කාලසීමාවේදී අපගේ තීන්ත අලෙවිය වගේම තීන්ත නිෂ්පාදන සහ බෙදාහැරීමේ ක්‍රියාවලියද නවත්වා තබන්න අපට සිදු වුණා.”

මේ අතර එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණයවීමත් සමගම, මාර්තු සහ අප්‍රේල් මාසයට අදාළ සිය ආනයන බිල්පත් පියැවීමේදී අමතර මුදලක් වැය කිරීමට සිදුවීමත් සමග විනිමය අනුපාත අහිමි වීමේ අවස්ථාවක්ද උදා වූ බවද සමාගම සඳහන් කරයි.

“ඒ වගේම අපගේ සැපයුම් දාමයේ ඇති වූ බාධාවන් සහ වරායෙන් නැව් භාණ්ඩ නිදහස් කරගැනීමේදී සිදුවූ සැලකිය යුතු පමාවන් නිසා අමතර නැව් ප්‍රමාද ගාස්තු ගෙවීමටත් සමාගමට සිදු වුණා. ඊට අමතරව පාරිභෝගිකයන් බොහෝ ප්‍රමාණයකගේ අගරු වූ චෙක්පත් හරහා ඇති වූ තත්වයද සමාගමේ ද්‍රවශීලතා තත්ත්වය වෙත බලපෑවා.”

විශේෂයෙන්ම සිය ව්‍යාපාරයේ බොහෝ අංශ ප්‍රධාන වශයෙන් ආනයනය කෙරෙන අමුද්‍රව්‍ය මත යැපෙන බවත්, ලොව පුරා ව්‍යාප්ත වූ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එම සැපයුම් දාම සියල්ල මන්දගාමී වූ බවත් සමාගම පවසයි. ඒ අනුව මෙම තත්ත්වය තවත් මාස 6ත් 9ත් අතර කාලයක් පවතීවි යන්න සමාගමේ විශ්වාසය වී කිබේ. මෙය හේතුවක් කරගනිමින් සිය ව්‍යාපාර මෙහෙයුම්ද සීමා සහිතව සිදු වෙනු ඇතැයිද සමාගම පවසයි.

“ඊටත් අමතරව රජය අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සඳහා වන ආනයන තහනමක් පනවා තිබෙනවා. මේ තත්ත්වය සමග ඇති වන අපගේ අමුද්‍රව්‍ය සීමා වීම් සමග අපේ තීන්ත නිෂ්පාදන, කාර්මික නිෂ්පාදන සහ කෘමි පාලන නිෂ්පාදන මෙහෙයුම් යනාදී සියල්ලම සීමා කිරීමට අපට සිදු වෙනවා.  ඒ වගේම රටේ උද්ගතව ඇති ආර්ථික තත්ත්වය අනුව හාඩ්වෙයාර් සහ ඉදිකිරීම් අංශවල පවතින පසුබෑම නිසා අපගේ නිෂ්පාදන වෙත පවතින ඉල්ලුමද කෙටි සහ මැදිකාලීනව අඩුවීමක් බලාපොරොත්තු වෙනවා.”

මේ කාරණා සියල්ලමත් සමගින්ම කොවිඩ්-19 හරහා සිය සමාගමේ ආදායම් සහ ලාභ වෙත කැපී පෙනෙන අහිතකර බලපෑමක් ඇති කර තිබෙන බව පෙන්වා දෙන ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම, එය 2019/2020 මූල්‍ය වර්ෂයේ සිව්වැනි කාර්තුවේ සිට 2020/21 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය දක්වාද දිවෙනු ඇතැයිද සඳහන් කරයි.

“කෙසේ වෙතත් මේ කොවිඩ්-19 වසංගතය නිසා අපේ කෘෂි රසායන අංශය වෙත එතරම් බලපෑමක් එල්ල වෙලා නැහැ. විශේෂයෙන්ම රටෙහි ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා කරගැනීම සඳහා රජය කෘෂිකර්මාන්තය අත්‍යවශ්‍ය කර්මාන්ත යටතට පත් කිරීම ඊට හේතුවයි. ඒ නිසා වසංගතය පාලනය කෙරිලා, ඇඳිරි නීතිය ඉවත් කෙරුණත් අපගේ කෘෂි රසායනික අංශයේ අනාගත ආදායම් වෙත සැලකිය යුතු බලපෑමක් එල්ල වෙතැයි අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ.”

කෙසේ වෙතත්  කොවිඩ්-19 නිසා සිදුව ඇති සිය මෙහෙයුම් අඩාල වීම් මෙන්ම පාරිභෝගික ක්‍රය ශක්තිය හීන වීම නිසා ඇතිවන ඉල්ලුමේ අඩුවීමත් හරහා සිදුව ඇති මුදල් ප්‍රවාහයේ කඩා වැටීම වළක්වා ගැනීම සඳහා සිය වියදම් අඩු කිරීමේ සැලසුම් සකස් කිරීමටද කටයුතු යොදා ඇතැයිද ලංකෙම් සිලෝන් පීඑල්සී කොටස් වෙළෙඳ පොළ වෙත මෙන්ම සිය කොටස්කරුවන් වෙතද දන්වා සිටියි.

1964 වසරේදී කෘෂි රසායනික සමාගමක් ලෙස රාජකීය නෙදර්ලන්ත ෂෙල් සමාගම (රෝයල් ඩච් ෂෙල්) මගින් ආරම්භ කළ ලංකෙම් සමාගම අද වනවිට කෘෂිකාර්මික, පාරිභෝගික, ආහාර අමුද්‍රව්‍ය සහ පෝෂණ අමුද්‍රව්‍ය, හෝටල්, කාර්මික රසායන ද්‍රව්‍ය, කාර්මික බිම් සැකසුම් ද්‍රව්‍ය, තීන්ත, පළිබෝධනාශක, වැවිලි සහ මාර්ග ඇතුරුම් යනාදී ලෙස ක්ෂේත්‍ර රැසක් පුරා ව්‍යාප්ත වී තිබේ.

1998 දී සමාගම කොටගල සහ ආගරපතන වැවිලි සමාගම් මිලදී ගැනීමත් සමග වැවැලි කළමනාකරණ ක්ෂේත්‍රය වෙත පිවිස තිබේ. එසේම 1990 දශකයේදී ලංකෙම් සමාගම සීගිරිය විලේජ් හෝටලය අත්පත් කරගැනීමට සමත්ව ඇත. පසුව බේරුවල රිසෝට්ස් පෞද්ගලික සමාගමේ පාලනයත් හිමි කරගැනීමට කටයුතු යොදා ඇත. අද වනවිට රට පුරා හෝටල් පහක හිමිකාරීත්වය ලංකෙම් සමාගම සතුය.

2010 වසරේදී සී.ඩබ්ලිව්.මැකී සමාගම අත්පත් කරගැනීමත් සමගම FMCG නිෂ්පාදන ක්ෂේත්‍රය වෙතත් පිවිසීමට ලංකෙම් සිලෝන් පීඑල්සී කටයුතු යොදා ඇත. සුප්‍රසිද්ධ සන්ක්වික්, ස්කෑන් ජම්බෝ පීනට්, ස්කෑන් ජැක් මැකරල්, ස්ටාර් ලකුණ රසකාරක සහ වර්ණකාරක යනාදී නිෂ්පාදන මේ වනවිට ලංකෙම් සිලෝන් පීඑල්සී හරහා නිපදවෙයි.

Visits: 111