සෑම දිස්ත්‍රික්කයකටම ජාතික විශ්වවිද්‍යාලයක්

රටෙහි සෑම දිස්ත්‍රික්කයක් සඳහා එක් ජාතික විශ්වවිද්‍යාලයක් බැගින් ඇති කිරීමටත්, ඉදිරියේදී විශ්වවිද්‍යාල සඳහා ඇතුලු කරගන්නා සිසුන් සංඛ්‍යාව 30,000 සිට 60,000 දක්වා වැඩි කිරීමටත් කටයුතු යොදන බව රජය පවසයි.

උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය  බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම කටයුතු ක්‍රියාත්මක වෙයි. ඊයේ පැවැති කැබිනට් මණ්ඩල දැනුම් දීමේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයා ලෙස ඒ මහතා විසින් මෙම කරුණු අනාවරණය කරන ලදි.

“නිදහස ලැබුණු දිනයේ පටන් මේ දක්වා විශ්වවිද්‍යාල පද්ධතියට ශිෂ්‍යයන් ඇතුළත් කරගනු ලැබුවේ වසරකට 30,000ක් පමණයි. 2030 වන විට මේ 30,000 ක සංඛ්‍යාව 60,000 දක්වා අදියරෙන් අදියරට වර්ධනය කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙතැනදී නිදහස් අධ්‍යාපනය ලබා දෙන ජාතික විශ්වවිද්‍යාලයක් අවම වශයෙන් සෑම දිස්ත්‍රික්කයකටම ලබා දීම අරමුණයි. එතැනදී තාක්ෂණික විශ්වවිද්‍යාල විශේෂයයි.”

දැනටමත්  විද්‍යා තාක්ෂණ හා මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙරට අධ්‍යාපනය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබා දෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 165ක ණය මුදල ඩොලර් මිලියන 50කින් වැඩි කිරීම තුළින් විශ්වවිද්‍යාල 10ක් ඉදිකිරීම සැලසුම බව රජය පවසයි.

“විශ්වවිද්‍යාල පද්ධතියේ තාක්ෂණික පීඨ ඉදිකිරීම සඳහා තමයි මෙම ඩොලර් මිලියන 165ක ණය මුදල ලබා දී තිබෙන්නේ. මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමත්, විදේශ සම්පත් අමාත්‍යාංශයත්, මුදල් අමාත්‍යාංශයත්, ආසියානු සංවර්ධන බැංකුවේ උසස් නිලධාරීනුත් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කරලා මෙම ණය ආධාර ක්‍රමය තවදුරටත් දිග් කරලා ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කොට සංවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

මෙහිදී තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු තාක්ෂණ සහ ජෛවපද්ධති තාක්ෂණය යන විෂය හා සම්බන්ධ අලුත් විශ්වවිද්‍යාල 10ක් ඇරඹීම සැලසුම වී තිබේ. ඒ යටතේ මේ වසර තුළ කළුතර, නුවරඑළිය, හම්බන්තොට, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි මෙම ජාතික විශ්වවිද්‍යාල ඉදිකිරීම ඇරඹෙන බවත් සඳහන් වෙයි.

මීට අමතරව ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය ජාත්‍යන්තරව පිළිගත් පර්යේෂණ විශ්වවිද්‍යාලයක් වශයෙන් සංවර්ධනය කිරීමත් සැලසුම වී තිබේ. මෙහිදී ආසාත්මිකතා, ප්‍රතිශක්තිවිද්‍යා හා ශල්‍ය ජීව විද්‍යා ඒකකයක් හා බෝ නොවන රෝග හා ආසාත්මිකතා පිළිබඳ නවීන පරීක්ෂණ පැවැත්වීමේ ඒකකයක් ඇති කිරීමට අපේක්ෂිත බව රජය පවසයි.

මේ යටතේ දැනට අදාළ උපකරණ මිලදී ගැනීමට පමණක් රුපියල් මිලියන 400ක් වෙන්කර ඇත. මේ වනවිටත් ශ්‍රී ජයවර්ධනපුරා විශ්වවිද්‍යාලය ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා ස්වීජනය යන රටවල් සමග ශිෂ්‍යයන් හා මහාචාර්යවරුන් හුවමාරු කරගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී මෙම විදෙස් විද්වතුන් හා විද්‍යාර්ථීන් සමග පර්යේෂණ වැඩසටහන් සිදු කිරීම තවදුරටත් පුළුල් කිරීමට කටයුතු යොදන බවත් රජය පවසයි.

Visits: 22