මහ බැංකුව ආපසු ගෙවන්නේ ‘ද ෆිනෑන්ස්’ තැන්පතු වටිනාකමෙන් 16.51% ක් පමණලු

මෙරට පිහිටවූ පළමු මූල්‍ය සමාගම ලෙස අදින් වසර 80 කට පෙර පිහිට වූ ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ සමාගමේ බලපත්‍රය පසුගිය මැයි 22 වැනිදා අහෝසි කිරීමෙන් අනතුරුව අගතියට පත් එහි තැන්පතුකරුවන් වෙත තැන්පතු මුදල් ගෙවීමේ කටයුතු හෙට (ජූනි 07) දිනයේ සිට ආරම්භ කෙරෙන බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙහිදී මහ බැංකුව පවසන ආකාරයට තැන්පතුකරුවන්ගෙන් 93% කට ආසන්න පිරිසකට ආපසු සිය තැන්පතු මුදල් ගෙවීමේ කටයුතු සිදු කිරීමට නියමිතව ඇත. සමාගමේ බලපත්‍රය අහෝසි කරන අවස්ථාව වන විට මුදල් තැන්පත් කර තිබූ තැන්පත්කරුවන් සංඛ්‍යාව 145,172 කි. ඒ අනුව, ඉන් තැන්පත්කරුවන් 135,100ක්  වෙත හෙට දිනයේ සිට මෙලෙස මුදල් ආපසු ගෙවීම සිදු කරයි.

මෙහිදී රුපියල් ලක්ෂ 6ක උපරිමයක් දක්වා මුදල් තැන්පත් කර ඇති ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ හි තැන්පත්කරුවන්ට පළමු අදියර යටතේ ආපසු එම මුදල් ලබා දෙන බව මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ පවතින ප්‍රතිපාදන අනුව රක්ෂණය වී ඇති සියලු තැන්පත්කරුවන්ට මෙම මුදල් ගෙවන බවත්, ඉතිරි මුදල් ප්‍රමාණයක් වෙතොත් ද ෆිනෑන්ස් සමාගමේ වත්කම් ඈවර කිරීමෙන් පසුව එකී මුදල් ලබා දෙන බවත් මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ සමාගමේ ශාඛා පැවැති ප්‍රදේශයන්හි පිහිටා ඇති මහජන බැංකු ශාඛා මගින් මෙම පළමු අදියරේ ගෙවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත. එහිදී එක් ගිණුමක් පමණක් හිමි, ජාතික හැඳුනුම්පත මගින් ගිණුම විවෘත කළ තනි පුද්ගල ගිණුම් හිමියන් සඳහා පමණක් මුදල් ගෙවීමේ කොන්දේසියක්ද මහ බැංකුව මගින් ලබා දී ඇත.

කෙසේ වෙතත් හෙට දිනයේ පටන් මහ බැංකුව මෙලෙස ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ගෙන් 93% කට ආසන්න තැන්පතු මුදල් ආපසු ගෙවීමට කටයුතු කළද, එහිදී ආපසු ගෙවන්නේ සමස්ත තැන්පතු වටිනාකම වන රුපියල් 27,029,434,787.00 කින් 16.51% ක් පමණ වන තැන්පතු වටිනාකමක මුදලක් බව ‘ද ෆිනෑන්ස්’ සමාගමේ සේවක සංගමය පවසයි.

එහි ලේකම් ශානක ද සිල්වා මහතා සඳහන් කරන ආකාරයට මෙම සමස්ත තැන්පතුකරුවන්ගෙන් 75.56% ක් එනම් 109,690 දෙනෙකු ශතයේ සිට රුපියල් 25,000 ක් දක්වා මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ය. ඔවුන් තැන්පත් කර ඇති මුදල රුපියල් මිලියන 25ක් එනම් 25,793,405.00 කි. එය සමස්ත තැන්පතු අතරින් 0.10% කි.

එසේම රුපියල් 25,001 සිට ලක්ෂ 6 දක්වා තැන්පත් කර ඇති තැන්පත්කරුවන් සංඛ්‍යාව 25,410 ක් වන අතර එය සමස්ත තැන්පත්කරුවන්ගෙන් 17.50% ක ප්‍රතිශතයකි. එම තැන්පතුවල වටිනාකම රුපියල් බිලියන 4.4 ක්, එනම් 4,435,896,612.00 කි. එය සමස්ත තැන්පතු අතරින් 16.41% කි.

එහෙත් මෙම තැන්පතු අතරින් වැඩිම ප්‍රමාණය ඇත්තේ රුපියල් ලක්ෂ 6 ඉක්මවා ඇති තැන්පතුවල බව ද ෆිනෑන්ස් සේවක සංගමය සඳහන් කරයි. එම තැන්පත්කරුවන් සංඛ්‍යාව 10,072 කි. එහෙත් එම තැන්පතු වටිනාකම රුපියල් බිලියන 22ක් එනම් 22,567,744,770.00 ක් එනම් සමස්ත වටිනාකමින් 83.49% කි.

“මෙම සංඛ්‍යාදත්ත අනුව පැහැදිලි වෙනවා තැන්පතු වටිනාකමින් 83.49%ක් වන බහුතර තැන්පත් හිමිකරුවන්ගේ දුක් ගැනවිලි වෙත මෙම පියවරෙන් පිළිතුරක් ලැබෙන්නේ නැහැ කියලා.” මේ පිළිබඳව අදහස් දක්වන ද ෆිනෑන්ස් සේවක සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

ඒ අනුව ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ගෙන් 135,100 කගේ ගැටලුව විසඳන බවට මහ බැංකුව තීරණයක් ගෙන තිබුණද, මෙය මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් රජයේද මැදිහත්වීම මත සිදු කරන වංචාවක් බවද ඔහු පවසයි.

“මෙතැන 75%ක්ම ඉන්නේ රුපියල් 25,000 කට වඩා අඩු තැන්පත්කරුවන්, ඒ අතරින් රුපියල් 250ත්, 300 ත් වගේ මුදලක් තැන්පත් කළ අයත් ඉන්නවා. මහ බැංකුව මේ තැන්පත්කරුවන් සංඛ්‍යාව පෙන්නලා තමයි ගැටලුව විසඳන්න හදන්නේ. ඒත් භයානකම ගැටලුව තියෙන්නේ රුපියල් බිලියන 22ක මුදලක් තැන්පත් කරලා තියෙන තැන්පත්කරුවන් 10,072ක අතරයි. මේකෙන් අගතියට පත්වෙන්නේ ලොකු තැන්පත්කරුවන්. ඡන්දයක් ළඟ එන හින්දා මේ තැන්පත්කරුවන් 135,100 දෙනාට මුදල් ගෙවලා ඉන්නයි බලලා තියෙන්නේ. හැබැයි ඒක ලොකුම ප්‍රෝඩාවක්.”

ඒ අනුව මෙම ද ෆිනෑන්ස් අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා ඇතුළු පිරිසගේ ප්‍රකාශ වැරදිසහගත සහ නොමඟයවන සුළු ඒවා බවත්, ඒ හරහා මෙරට සමස්ත මූල්‍ය කර්මාන්තයම දරුණු අනතුරේ වැටී ඇති බවත් ද ෆිනෑන්ස් සේවක සංගමය පෙන්වා දෙයි.

එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් වෙතද මෙම නොමඟයවන සුළු ප්‍රකාශ ලැබෙන බවත්, කෙසේ හෝ යුක්තිය තමන්ට හිමිවේයැයි බලාපොරොත්තුව සිටින බවත් ද ෆිනෑන්ස් සේවක සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 1070