අලුත විවාහ වන ඉන්දියානුවන්ගේ වැඩි කැමැත්ත ලංකාවටලු!

ඉන්දියානු ජාතිකයන් සිය විවාහ මංගල්‍යය උත්සව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට වැඩි කැමැත්තකින් පසුවන බව ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත්ව ආ ගෝපාල් බග්ලේ මහතා පවසයි.

මහ කොමසාරිස්වරයා පසුගියදා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා හමුවී සිදුකළ සාකච්ඡාවකදී මේ කරුණු සඳහන් කර තිබේ.

එසේම ශ්‍රී ලාංකිකයන් දඹදිව යන්නාක් මෙන් ඉන්දියානුවන් රාමායනයට සම්බන්ධ ස්ථාන නැරඹීමට කැමැත්තෙන් සිටින බවත් ඒ හරහා මෙරට සංචාරක කර්මාන්තය දියුණු කළ හැකි යැයිද ඔහු සඳහන් කරයි.

විශේෂයෙන්ම ලෝකයේ කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය වීමත් සමග ශ්‍රී ලංකාවට ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව මහ කොමසාරිස්වරයා මෙහිදී පවසා ඇත.

ගෝපාල් මහතා මහකොමසාරිස්වරයා ලෙස පත්වීමෙන් අනතුරුව හමුවූ මෙරට පළමු කැබිනට් අමාත්‍යවරයා වන්නේද රණතුංග මහතා බව අමාත්‍යාංශය පවසයි.

මෙම අදහසට ප්‍රතිචාර දක්වා ඇති අමාත්‍යවරයා සංචාරක සංවර්ධන අධිකාරිය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව පවසා ඇත. විශේෂයෙන්ම මඩු වන්දනාවේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් මඩු ප්‍රදේශයේ ඉදි කෙරෙන නව නිවාස ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වී තිබේ. මේ සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 300ක ආධාරයක් ලබා දී ඇති අතර, නිවාස 144ක් මෙහි ඉදිකිරීමට නියමිතව ඇත.

එසේම යාපනය පළාලි ගුවන් තොටුපොළේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබේ. පළාල් ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව රුපියල් මිලියන 300ක් ලබා දී ඇත. ඊට අදාළ ගිවිසුම්වලට කඩිනමින් අත්සන් තැබීමටද මහ කොමසාරිස්වරයා සහ අමාතයවරයා එකඟතාව පළ කර තිබේ.

එහිදී ඉන්දියානු ව්‍යාපාරිකයන් මෙරට නව ආයෝජන අවස්ථා ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බවත්, ආහාර සුරක්ෂිතතාව, ඖෂධ නිෂ්පාදනය, කෘෂිකාර්මික නිෂ්පාදනය හා ඉන්ධන පිරිපහදුව සඳහා එහිදී වැඩි අවධානයක් පෙන්නුම් කර තිබේ.

එසේම කොවිඩ්-19  වසංගයෙන් පසුව දෙරට අතර ඒකාබද්ධ ආයෝජන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද කොමසාරිස්වරයා එකඟතාව පළ කර තිබේ.

විශේෂයෙන්ම උතුරේ අංකුර හා නව ව්‍යවසාකයන් සවි බල ගැන්වීමට නව ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ඉදි කිරීමට ඉන්දියානු රජය රුපියල් මිලියන 250ක ප්‍රදානයක් ලබා දී ඇත. යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමට යෝජිත මෙම මධ්‍යස්ථානයේ කටයුතු ඉක්මණින් අවසන් කිරීමටද දෙදෙනා අතර එකඟතාවක් පැමිණ තිබේ.

මෙම සාකච්ඡාව සඳහා කාර්මික අපනයන හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.

Visits: 35