ධාරා විජේතිලක සම්පත් බැංකුවේ උප සභාපති ධුරයට

ධාරා විජේතිලක සම්පත් බැංකුවේ උප සභාපති ධුරයට

සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කළ ධාරා විජේතිලක මහත්මිය එම බැංකුවේ නව උප සභාපතිනිය ලෙස පත් කිරීමට පසුගිය මැයි 28 වැනිදා පැවැත් වුණු එහි අධ්‍යක්ෂ මණ්ඩලය හමුවේදී තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ජූනි 02 වැනිදා පැවැත්වුණු සම්පත් බැංකුවේ 34 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට සමගාමීව මෙම නව  පත් කිරීම බලාත්මක වන බව සම්පත් බැංකුව පවසයි. Zoom මෘදුකාංගය හරහා අන්තර්ජාල තාක්ෂණය හරහා මෙම වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වී තිබේ.

මෙතෙක් කලක් සම්පත් බැංකුවේ උප සභාපතිනිය ලෙස කටයුතු කළ සෞම්‍යා අමරසේකර මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් හිස් වූ ධුරය සඳහා ධාරා විජේතිලක මහත්මිය මෙලෙස පත්වීම් ලැබ ඇත. ඇය වසරක කාලයක් උප සභාපති ධුරය දැරුවාය.

උප සභාපතිනිය ලෙස පත්වීම් ලැබීමට පෙර ඇය බැංකුවේ විධායක නොවන, ස්වාධීන අධ්‍යයක්ෂවරියක ලෙස කටයුතු කළාය. ඇය සම්පත් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්වූයේ 2011 වසරේ අගෝස්තු 30 වැනිදාය. නව උප සභාපතිනිය ලෙස පත්වන අවස්ථාව වනවිට ඇය බැංකුවේ කිසිදු කොටස හිමිකාරීත්වයක් නොදැරූ බවත් සම්පත් බැංකුව සඳහන් කරයි.

වෘත්තියෙන් නීතීඥවරියක වන ඇය 2015 වසරේදී සිය 41 වසරකට වෘත්තීය දිවියෙන් විශ්‍රාම ගත්තාය. ඇය අමාත්‍යාංශ කිහිපයකම ලේකම්වරිය ලෙසත් කටයුතු කළාය. ඒ අනුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්,සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම උසස් අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍යාංශයේ උපදේශකවරියක මෙන්ම මහජන සේවා කොමිසමේ සාමාජිකාවක ලෙසද ඇය පත්වීම් ලැබුවාය.  එසේම ඇය කලක් ලංකා වාණිජ මණ්ඩලයේ ලේකම්වරිය ලෙසද කටයුතු කළාය.

මෙම පත් කිරීමත් සමග සම්පත් බැංකුවේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ මහාචාර්ය මලික් රණසිංහ ( සභාපති), නන්ද ප්‍රනාන්දු (කළමනාකාර අධ්‍යක්ෂ), ධාරා විජේතිලක (උප සභාපති), අනිකා සේනානායක (විධායක නොවන අධ්‍යක්ෂ), රනිල් පතිරන (විධායක නොවන අධ්‍යක්ෂ), රුෂන්ක සිල්වා (විධායක නොවන අධ්‍යක්ෂ), දිලිප් ද එස් විජේරත්න (විධායක නොවන අධ්‍යක්ෂ), අරෝෂි නානායක්කාර (විධායක නොවන අධ්‍යක්ෂ), සන්ජිව වීරවරණ (විධායක නොවන අධ්‍යක්ෂ), දෙෂාල් ඩි මෙල් (විධායක නොවන අධ්‍යක්ෂ), ලසන්ත සේනාරත්න (සමාගම් ලේකම්), මුදිත වල්පොල (සහකාර සමාගම් ලේකම්)

Visits: 44