සංචාරක නියෝජිතයන් ගෙන එන සංචාර වැට් බද්දෙන් නිදහස්

සංචාරක නියෝජිතයන් ගෙන එන සංචාර වැට් බද්දෙන් නිදහස්

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් (Travel Agents) විසින් රට තුළට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. මෙම නිදහස මේ වසරේ අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

අද වන විට මෙම සංචාරක නියෝජිතයන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය ලබා සිටියි. එම නියෝජිත ආයතනවල ඉල්ලීමක් අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කෙරුණු බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

“කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වසංගතය හේතුවෙන් බිඳ වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා ක්ෂේත්‍රෙය් නියුතු වූවන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් අදාළ පියවර ගනිමින් සිටිනවා. මෙලෙස සංචාරක නියෝජිතයන් රට තුළට රැගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කිරීම ඒ සඳහා ගත් එක් පියවරක්.” අමාත්‍යවරයා පවසා සිටියි.

එසේම සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ ඉල්ලීම අනුව තවත් පියවර රැසක්ද ඉතා කඩිනමින් ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී සිටියි.

සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවලට අනුව 2019 වසරේදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,913,702 කි. ඒ හරහා ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3,724 කි. ඉදිරි වසර 5ක් තුළ වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම සඳහා සංචාරක කර්මාන්තය දියුණු කිරීම රජයේ අරමුණ වී තිබේ.

Visits: 16