මාර්තුවේ ආනයන වියදම 30.3%කින් පහළට

මාර්තුවේ ආනයන වියදම 30.3%කින් පහළට

පසුගිය මාර්තු මාසයේදී මෙරට ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,205 ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙය 2019 වසරේ මාර්තු මාසයේදී ආනයන වියදම ලෙස වාර්තා වූ ඩොලර් මිලියන 1,729 ට සාපේක්ෂව 30.3% ක අඩු වීමකි.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් ශ්‍රී ලංකා රේගුව විසින් අනුගමනය කළ තෝරාගත් ආනයන නිෂ්කාශනය කිරීමේ ක්‍රියාවලිය සහ රට තුළ ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ආනයන ආශ්‍රිත අනෙක් සේවාවන්ට බාධා පැමිණීම, ගෝලීය සැපයුම් හා සේවා පහසුකම් දාමයන්ට බාධා පැමිණීම, කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් භාණ්ඩ මිල ගණන් පහළ යෑම ආනයන වියදමෙහි මෙම පෙර නොවූ විරූ අඩුවීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ බව මහ බැංකුව පවසයි.

“මෙයට අමතරව රථවාහන සහ අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය පහසුකම් සැපයීම නැවැත්වීම ඇතුළුව කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් විනිමය අනුපාතිකය මත වූ පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළෙඳ පොළේ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජය සහ මහ බැංකුව විසින් 2020 මාර්තු මාසයේදී ක්‍රියාක්මක කළ කඩිනම් ක්‍රියාමාර්ගද ආනනයන වියදමෙහි මෙම අඩුවීමට හේතු වී තිබේ.” මහ බැංකුව සඳහන් කරයි.

එහිදී පාරිභෝගික භාණ්ඩ ආනයනය 24.1% කින් අඩු වී ඇත. ඒ යටතේ ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ 42% කින් පහත වැටී ඇත. එසේම අන්තර් භාණ්ඩ 29.1% කින්ද අඩු වී ඇත. ඒ යටතේ ඉන්ධන ආනයන වියදම 41.7% කින් පහත වැටී තිබේ. මීට අමතරව ආයෝජන භාණ්ඩ සඳහා ආනයන වියදම 39.2% කින් අඩු වී ඇත. එහිදී විශේෂයෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා වන ආනයන වියදම 46.2% කින් පහත වැටී තිබේ.

Visits: 27