ආචාර්ය සන්ජීව වීරවරණට ICTA සභාපතිගෙන් පිළිතුරු

ආචාර්ය සන්ජීව වීරවරණට ICTA සභාපතිගෙන් පිළිතුරු

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව සිටි ආචාර්ය සන්ජිව වීරවරණ මහතා පසුගිය මැයි 28දා හදිසියේම එම ධුරයෙන් ඉල්ලා අස්විය. එහිදී ඔහු සිය ඉල්ලා අස්වීම සඳහා හේතු වූ කරුණු පවසමින් බ්ලොග් සටහනක් තැබූ අතර, එම ආයතනය මගින් ලබාදීමට සැලසුම් කර තිබූ ටෙන්ඩර් දෙකක් සම්බන්ධයෙන් සිය විරෝධයද එහි පළ කර තිබුණි.

ඒ අනුව සන්ජිව වීරවරණ මහතාගේ එම ඉල්ලා අස්වීම සහ චෝදනාව සම්බන්ධයෙන් ICTA හි වර්තමාන සභාපතිවරයා වන ජයන්ත  ද සිල්වා මහතා ඊයේ (01දා) නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී වීරවරණ මහතාගේ ඉල්ලා අස්වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුව තිබූ දෙයක් බව තමන් විශ්වාස කරන බවත්, එම ඉල්ලා අස්වීම එම මහතාගේ පෞද්ගලික තීරණයක් මත සිදුවූවක් බවට ඔහු විසින්ම සඳහන් කර ඇති බවත් සභාපතිවරයා මෙහිදී පවසා ඇත.

“මෙතැනදී අධ්‍යක්ෂ මණ්ඩලය විදියට ආයතනය තුළ සෑම දෙනාටම එක කණ්ඩායමක් විදියට වැඩ කරන්න අවස්ථාව ලබා දෙනවා වෙනුවට තනිවම ක්‍රියාත්මක වෙන්න බැහැ. ඒත් වීරවරණ මහතා සම්බන්ධයෙන් එවැනි දේ සිදුවුණා. ඒ නිසා ඔහුගේ ඉවත්වීම අනිවාර්යයනේම සිදුවිය යුතුව තිබූ දෙයක්.” ජයන්ත ද සිල්වා මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති සභාපතිවරයා, “ICTA අධ්‍යක්ෂ මණ්ඩලයේ දැක්ම වෙන්නේ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් එක් අයෙකුට හෝ වැඩි පිරිසකට පාලන බලතල ලබා දීමට වඩා සිය සේවකයන් බලගැන්වීමට කටයුතු කරන තිරසාර සහ සියල්ල එක් වූ සංවිධානයක් ලෙස එය ගොඩනැගීමයි. අධ්‍යක්ෂ මණ්ඩලය එසේ හැසිරීමට ගියොත් එය ICTA කාර්ය මණ්ඩලය තුළ මෙන්ම එහි කොටස්කරුවන් තුළත් ගැටලුවක් ඇති වෙන්න තිබුණා. එසේම එය අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස පවතින සාමූහික වගවීම අනතුරේ හෙළීමක්.” යනුවෙන්ද පවසා ඇත.

මෙහිදී වඩාත් කණගාටුදායක තත්ත්වය වන්නේ ආචාර්ය වීරවරණ සිය ඉල්ලා අස්වීම හැසිර වූ ආකාරය බවද ICTA සභාපතිවරයා මෙහිදී පවසයි. ඒ හරහා සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ යහපත් පිළිගැනීම වෙත හානි සිදුවූ බවත්, විශේෂයෙන්ම මෙම බ්ලොග් සටහන විවිධ මාධ්‍ය හරහා විවිධ ආකාරයෙන් සංස්කරණය වෙමින් පළවීම ඊට හේතු වූ බවත් ඔහු සඳහන් කර තිබේ.

“ඔහුගේ මේ බ්ලොග් සටහනේ සඳහන් වෙනවා ICTA ආයතනයේ විමර්ශනය සඳහා ලැබුණු ටෙන්ඩර් දෙකක් ප්‍රදානය කිරීමේදී සිදුකළ බව පැවසෙන අකටයුතුකමක් ගැන. එහෙත් මෙම සටහන හරහා සම්පූර්ණයෙන්ම මාධ්‍ය මෙන්ම මහජනතාවත් නොමගයැවීමක් සිදුව තිබෙනවා. මොකද ICTA සැබෑ ලෙසම ක්‍රියා කර කර තිබෙන්නේ අදාළ ටෙන්ඩර් දෙකෙහි තාක්ෂණික උපදේශකයා ලෙස පමණයි. එම ටෙන්ඩර් ක්‍රියාවලිය වෙත කිසිදු ආකාරයකින් හෝ ICTA දායක වී නැත.”

මේ අතරම ආචාර්ය වීරවරණ මහතාගේ ක්‍රියාවත් සමගම රජය රට වෙනුවෙන් සිදුකරන ඩිජිටල් රාජ්‍ය සැලසුම් පිළිබඳව ජනතාව තුළ යම් සැකයක් මතු කර ඇතැයිද ICTA සභාපතිවරයා මෙහිදී සඳහන් කරයි. ඒ අනුව මෙය අසද්භාවයෙන් යුක්තව, ජනතාව කෝප ගැන්වීම සඳහා සහ අපකීර්තියට පත් කිරීම සඳහා ගත් පියවරක් ලෙසද ඔහු හඳුන්වා දෙයි.

“ආචාර්ය වීරවරණ මහතා විසින් එල්ල කළ සියලුම ආකාරයේ චෝදනා ICTA ආයතනය මගින් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ආයතනය ලෙස ගත හැකි පියවර සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික වාසියක් තකා සිදු කරන මෙවැනි අදහස් දැක්වීම්වල අසත්‍යතාව රටට හෙළිදරව්වීම වඩාත් වැදගත්.” ICTA සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියි.

සභාපති ජයන්තද සිල්වා මහතා සහ සන්ජිව වීරවරණ මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ICTA ආයතනය වෙත පත්කෙරුණේ පසුගිය දෙසැම්බර් මාසයේදීය.  ජයන්තද සිල්වා මහතා මෙරට මුල් පෙළේ මෘදුකාංග නිර්මාණ ආයතනයක් වන IFS Sri Lanka හි හිටපු ප්‍රධාන විදායක නිලධාරියා සහ සභාපතිවරයා වන අතර, වීරවරණ මහතා WSO2 ආයතනයේ නිර්මාතෘවරයා මෙන්ම ලංකා සොෆ්ට්වෙයා ෆවුන්ඩේෂන්හි සභාපතිවරයාද විය.

ඔවුන් දෙදෙනාට අමතරව SLIIT ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී උප කුලපති මහාචාර්ය ලලිත් ගමගේ, GSS International හි වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර, SAP India හි ශ්‍රී ලංකා වෙළෙඳපොළ ප්‍රධානී මනෝරි උනම්බුව සහ දුරකතන සහ ඩිජිටල්  යටිතල පහසුකම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය යන මහත්ම මහත්මීන් ICTA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ජනාධිපතිවරයා විසින් පත්වීම් ලබා දී තිබුණි.

Visits: 29