ICTA වෙතින් ඉවත්වීම පිටුපස දේශපාලනය නෑ – WSO2 ප්‍රධානී සංජීව වීරවරණ

ICTA වෙතින් ඉවත්වීම පිටුපස දේශපාලනය නෑ – WSO2 ප්‍රධානී සංජීව වීරවරණ

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA)අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව සිටි ආචාර්ය සන්ජිව වීරවරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ඊයේ වාර්තා විය. මෙරට ක්‍රියාත්මක මුල් පෙළේ මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වන WSO2 හි නිර්මාතෘවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා වන්නේද ආචාර්ය සන්ජිව වීරවරණ මහතායි.

වත්මන් රජය පත් වීමෙන් අනතුරුව සිදු කෙරුණු පත් කිරීමක් ලෙස 2019 දෙසැම්බර් මාසයේ සිට මාස හයක කාලයක් ඔහු ICTA හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ. එම කාලසීමාව පුරා ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීම සඳහා ලබා දුන් දායකත්වය සහ තමන් ධුරයෙන් ඉවත්වීමට හේතු වූ කරුණුද සඳහන් කරමින් වීරවරණ මහතා බ්ලොග් සටහනක් තබා තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ඔහු සිය ඉල්ලා අස්වීම භාර දී තිබේ. කෙසේ වෙතත් සිය ඉල්ලා අස්වීම සඳහා කිසිදු දේශපාලන හේතුවක් මූලික නොවූ බව ඊයේ පස්වරුවේදී ඔහු සිය බ්ලොග් සටහන වෙත අලුතින් කරුණු එක්කරමින් පවසා සිටියි.

මෙහිදී ඔහු ICTA  හි අධ්‍යක්ෂ මණ්ඩල ධුරයෙන් ඉවත්වීම සඳහා ආසන්නතම හේතුව ලෙස සඳහන් කර ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලබන තීරණවල සාර්ථක ප්‍රථිඵල ලැබේවි යන්න පිළිබඳව තමන් තුළ පැවැති අවිශ්වාසය බවයි. ඒ අනුව එවැනි අවස්ථාවකට නොයා තමන්ම එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඔහු  පවසයි.

“වෘත්තිකයන් අතර එකිනෙකට වෙනස් මතවාද තිබීම සාමාන්‍ය දෙයක්. එයින් අදහස් කෙරෙන්නේ නෑ එක්කෙනෙක් සම්පූර්ණයෙන්ම නිවැරදි වෙලා අනෙක් අය සම්පූර්ණයෙන්ම වැරිදියි කියන දේ. මගේ පෞද්ගලික අදහස වෙන්නේ සාර්ථක ප්‍රතිඵලයක් අත් නොවෙන බවට විශ්වාස කෙරෙන දෙයක් සිදු කිරීමට උත්සාහ කිරීමට වඩා එතැනින් ඉවත්වීමයි.” වීරවරණ මහතා මෙහිදී පවසා ඇත.

“පසුගිය දෙසැම්බර් මාසයේදීICTA හි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පත් කිරීමෙන් අනතුරුව එහි සාමාජිකයන් සියලු දෙනාගේම එකඟතාව වුණේ විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ සාමාජිකයන් එකට එකතු වෙලා වඩාත් සමීපව කටයුතු කරමින් ආයතනයේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය සුදුසුම කණ්ඩායම තෝරා ගෙන එහි ඉදිරිය සාර්ථක කරගැනීමයි.” ඒ මහතා වැඩි දුරටත් පවසා ඇත.

එහිදී සිය අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුද වන, ඩිජිටල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය මහතා සමගින් ඩිජිටල් ආණ්ඩුවක් සඳහා වන වගකීම භාරගෙන කටයුතු සිදුකළ බවත්, ඒ හරහා රජය තනි ඒකාබද්ධ ඒකකයක් ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය ක්‍රියා රාමුවක් නිර්මාණය කිරීමත්, එහිදී පෞද්ගලිකත්වය දැඩි ලෙස ආරක්ෂා වන ආකාරයට, දත්ත සුරක්ෂිතතාව සහ ආරක්ෂාවට මූල්තැන තැන දුන් වැඩපිළිවෙලක් සකස් කෙරුණු බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියි.

එසේම National Data & Identity Interoperability Platform ‍ලෙස නව වැඩසටහනක් සකස් කිරීමටත් ඔහු දායකත්වය ලබා දී තිබේ.

“ICTA හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව සිටියදී මට ඉතාමත් හොඳ අවස්ථාවක් උදා වුණා රජයේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් සහ එහි කොටස් එකිනෙක සම්බන්ධ වී තිබෙන ආකාරය පිළිබඳව දැනුමක් ලබා ගන්න. මේ සමස්ත ඩිජිටල් රාජ්‍ය සැකැස්ම පසුගිය ජනවාරි මාසයේදී නිර්මාණය කරලා, පෙබරවාරි මාසය මුලදී එය ජනපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළා. ජනවාරි මාසයේ ඉදන් මේ දක්වා මම රජයේ විවිධ නිලධාරීන් සහ සංවිධාන සමගින් සාකච්ඡා 50කට වඩා පවත්වා තිබෙනවා. එහිදී ඔවුන්ගේ අවශ්‍යතාව සහ දැක්ම පිළිබඳව හොඳ අවබෝධයක් මා ලබා ගත්තා. ඒ හරහා ජනතාව තනි දැක්මක් වෙත ගෙන යාම සඳහා අවශ්‍ය කරුණු දැන ගත්තා.”

කෙසේ වෙතත් මෙම කටයුතු සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් තමන් සිදු කිරීමට උත්සාහ කළ කිසිදු පැහැදිලි කිරිමක් හෝ සමාලෝචනයක් හෝ භාර ගැනීමට ICTA සභාපතිවරයා හෝ එහි අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කටයුතු නොකළ බවත්, හුදෙක් සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයක් ලෙසම පමණක් කටයුතු කිරීම සඳහා පමණක් අවස්ථාව ලබා දුන් බවත් වීරවරණ මහතා මෙහිදී චෝදනා කරයි.

“ඒ වගේම කැබිනට් මණ්ඩලය විසින් ICTA ආයතනය වෙත යොමු කරන විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන් සමාලෝචන සිදු කිරීමටත් උදව් ලබා දුන්නා. එතැනදී මම එවැනි දේ කළ යුතු ආකාරය මෙන්ම නොකළ යුතු ආකාරය සම්බන්ධයෙනුත් මගේ රැඩිකල්වාදී අදහස් ඉදිරිපත් කළා. මම හිතන්නේ නැහැ මගේ ඒ දැක්ම සැම විටම ඔවුන් පිළිගත්තා කියලා.”

එහිදී උදාහරණයක් ලෙස මෙරටදී ඉතාමත් අඩු මුදලකට සිදු කළ හැකි රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සහ දුම්රිය ටිකට්පත් නිකුත් කිරීමේ ක්‍රමවේද සඳහා යල්පැන ගිය විදෙස් තාක්ෂණය යොදා ගැනීමක් සම්බන්ධයෙන්ද ඔහු කරුණු දක්වා සිටියි.

“රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය වගේම දුම්රිය ටිකට්පත් නිකුත් කිරීමේ ටෙන්ඩරයත් රුපියල් බිලියන ගණනකට විදේශීය සමාගම් වෙත ප්‍රදානය කිරීම ගැන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස මට බලා ඉන්න බැහැ. මොකද මේ අවස්ථා දෙක සඳහා මෙරටදී කළ හැකි දේ පිළිබඳව කිසිම සොයා බැලීමකින් තොරව අදින් අවුරුදු 20කටත් වඩා පැරණි විදේශීය තාක්ෂණයක් ඒ සඳහා ගෙන ඒමට උත්සාහයක් තමයි තියෙන්නේ. යම් විදියකින් එය මෙරට සමාගමක් හරහා සිදු කිරීමේ අවස්ථාව සොයා බැලුවා නම් ඊට වඩා අඩු මුදලකට ඒවා සිදු කළ හැකි ආකාරය පිළිබඳව දැනගන්නටත්, දේශීය ව්‍යාපාරයක් පිහිටුවන්නට හෝ ගොඩනගන්නට එය අවස්ථාවක් කරගන්නටත් තිබුණා.” සංජිව විරවරණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

තමන් අධ්‍යක්ෂ මණ්ඩල ධුරයෙන් ඉවත් වුවද ICTAඅධ්‍යක්ෂ මණ්ඩලයට මෙන්මICTA කණ්ඩායමටත් ශ්‍රී ලංකා රජය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සුබපැතුම් එක් කරන බවත් ඔහු මෙහිදී පවසා ඇත. එසේම එම ආයතනය සිය අනෙකුත් කාර්යයන් සිදු කරන අතරතුරදීම, කිසිදු විවාදයකින් තොරව එහි ප්‍රධාන කාර්යයක් වන්නේ මෙම කටයුත්ත බවත්, එය වඩාත් නිවැරදිව සහ ජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ හිමි කරගැනීමේ ආරක්ෂිත සහ සුරක්ෂිත ඩිජිටල් රජයක් විය යුතු බවත් ඔහු සඳහන් කර දෙයි.

මේ අතර, ඔහු විසින් ඊයේ දිනයේදී පළ කරන්නට යෙදුණු මෙම ICTA හි අධ්‍යක්ෂ මණ්ඩල ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ බ්ලොග් සටහන, ඇතැමුන් විසින් දේශපාලනීකරණය කිරීමට ලක් කරන බවටත් ඔහු අද දිනයේදී සටහනක් තබා තිබේ. ඒ අනුව මෙම ඉල්ලා අස්වීම පිටුපස කිසිදු දේශපාලන බලපෑමක් හෝ රාජ්‍ය මැදිහත්වීමක් සිදු නොවුණු බවත් ආචාර්ය සන්ජීව වීරවරණ මහතා ‘ඉකොනොමි ඇන්ඩි බිස්නස් ශ්‍රී ලංකා’ වෙතද පවසා සිටියේය.

Visits: 11