කොටස් වෙළෙඳ පොළ තුළ CDS ගිණුම් ඇරඹීම් ඉහළටලු

කොටස් වෙළෙඳ පොළ තුළ CDS ගිණුම් ඇරඹීම් ඉහළටලු

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කටයුතු යළිත් ආරම්භ කෙරුණු පසුගිය මැයි 11 වැනිදා සිට එහි අලුතින් පිහිටුවෙන මධ්‍යම තැන්පතු පද්ධති (CDS – Central Depository System) ගිණුම් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව පසුගිය මැයි 11 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය තුළදී දේශීය ආයෝජකයන් විසින් අලුතින් CDS ගිණුම් 705ක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. එසේම විදේශීය ආයෝජකයන්ද ගිණුම් 10ක් ආරම්භ කර ඇතැයි මේ පිළිබඳව වාර්තාවක් ගෙන එන සන්ඩේ ටයිම්ස් පුවත්පතේ බිස්නස් ටයිම්ස් අංගය පවසයි.

එසේම මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට මැයි 27 වැනිදා දක්වා කාලය තුළදී දේශීය ආයෝජකයන් විසින් අලුතින්CDS ගිණුම් 4,070 ක් විවෘත කර ඇති බවත් විදේශික ආයෝජකයන් නව ගිණුම් 75ක් ආරම්භ කර ඇති බවත් කොළඹ කොටස් වෙළෙඳ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය මාර්තු මාසයේ 20 වැනිදා සිට දින 51ක කාලයක් කොටස් වෙළෙඳ පොළ වසා තැබුණි.

මේ පිළිබඳව පුවත්පත වෙත අදහස් දක්වා ඇති කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති රේ අබේවර්ධන මහතා, අද වනවිට මෙම ආයෝජකයන් වෙළෙඳ පොළ තුළ ඉහළ වටිනාකම් පිළිබඳව උනන්දුවකින් පසුවන බවත්, විශේෂයෙන්ම දැනට පවතින සමාගම් කොටස් මිල ගණන් තරගය ඊට හේතු වී ඇතැයිද පවසයි.

එහිදී විදේශියන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් ඉහළ ධනාත්මබවකින් වෙළෙඳ පොළ වෙත අවධානය යොමු කරමින් සිටින බවත් ඔහු සඳහන් කර තිබේ.

මේ අතර කොටස් තැරැව්කාර සමාගම්ද පුවත්පත් වෙත පවසා ඇත්තේ, මේ වනවිට අද වන විට එක් දිනක් තුළ සාමාන්‍යයක් ලෙස නව CDSගිණුම් පහක් පමණ විවෘත වන තත්ත්වයක් උදා වී ඇති බවයි. එසේම විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන්ද දිනකට මේ පිළිබඳ විමසීම් 10 සිට 15 දක්වා සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බවත් සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් පුවත්පත සිදු කළ කරුණු විමසීමකට පිළිතුරු දී ඇති ෆර්ස්ට් කැපිටල් සමාගමේ පර්යේෂණ ප්‍රධානී දිමන්ත මැතිව් මහතාද, අඩු පොළී අනුපාත හේතුවෙන් දේශීය ආයෝජකයන් කොටස් මිලදී ගැනීම් වෙත යොමු වීමට හේතුවී ඇතැයි පෙන්වා දී ඇත.

එසේම පවතින මෙම ප්‍රවණතාවත් සමග දැනට රට තුළ ක්‍රියාත්මක ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමත් සමගින්ම දේශීය මිලදීගන්නන් විශාල ප්‍රමාණයකගේ පැමිණීම හරහා කොටස් වෙළෙඳපොළ යළින් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කරයි.

Visits: 18