මැයි 29 ශ්‍රී ලංකා කොටියන්ගේ දිනය ලෙස නම් කරන්නැයි WNPS ඉල්ලයි

මැයි 29 ශ්‍රී ලංකා කොටියන්ගේ දිනය ලෙස නම් කරන්නැයි WNPS ඉල්ලයි

ශ්‍රී ලංකාවේ වෙසෙන කොටියන් සම්බන්ධයෙන් ජනතාව අතර පවතින ආකල්පය වෙනස් කිරීමේ අරමුණින් සෑම වසරකම මැයි 29 වැනි දිනය ‘ශ්‍රී ලංකා කොටියන්ගේ දිනය (Sri Lanka Leopard day)’ නමින් නම් කරන ලෙස ශ්‍රී ලංකා වනසත්ව සහ ස්වභාව ආරක්ෂක සංගමය (WNPS – Wildlife and Nature Protection Society) රජයෙන් ඉල්ලා සිටියි.

පසුගියදා මන්දකට හසුවී සිටියදී සොයා ගෙන, පසුව ප්‍රතිකාර ලබා දෙන අතරතුරදී මරණයට පත්වූ කළු කොටියා නිමිති කරගනිමින් මෙම වාර්ෂිකව සැමරුම් දිනය නම් කරන ලෙස එම සංගමය මෙහිදී යෝජනා කර තිබේ. මෙම සත්ත්වයා මරණයට පත්වූ දිනය ලෙස සටහන් වන්නේ 2020 මැයි 29 වැනිදායි.

ඒ අනුව මෙලෙස රටට ඉමහත් වටිනාකමක් වූ කළු කොටියාගේ ජීවිතය ඉතාමත් අවාසනාවන්ත ලෙස අහිමිවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම විරෝධය වෙත එකතු වන ලෙසද එම සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.  එහිදී මෙය ‘වැළැපීමට නොව ක්‍රියාකිරීමට කාලය’ යැයිද ඔවුන් සඳහන් කරයි.

ඒ අනුව මෙවැනි මන්ද ක්‍රම ඇතුළු නීතිවිරෝධී උගුල් භාවිත කරන්නන් හඳුනාගැනීම, ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීම සහ නිසි දඩුවම් පැමිණවීම සිදුකළ යුතු බව සංගමය රජය වෙත දැනුම් දී සිටියි. එසේම වනජීවී හදිසි අවස්ථාවන් සඳහා කටයුතු කිරීමේදී අවශ්‍ය සම්බන්ධීකරණ, සැලසුම් සහ ක්‍රමික ප්‍රතිචාර දැක්වීම යන කරුණු සම්බන්ධයෙන් යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාවයද එම සංවිධානය මෙහිදී රජයට පෙන්වා දෙයි. විශේෂයෙන්ම මන්දකට හසුව සිටින කොටියෙකු මුදවා ගැනීමේ කටයුත්තේදී එය වැදගත් බවත් ලෙස ශ්‍රී ලංකා වනසත්ව සහ ස්වභාව ආරක්ෂක සංගමය පෙන්වා දෙයි.

“මෙවැනි තත්ත්වයක් ඇති වූ අවස්ථාවකදී ඊ මුහුණ දීම සඳහා වනජීවී නිලධාරීන්ට මෙන්ම පශුවෛද්‍යවරුන්ටද අවශ්‍ය පුහුණුවීම් සහ ධාරිතා ගොඩනැංවීමේ ඉක්මන් වැඩපිළිවෙලක් අවශ්‍යව තිබෙනවා. එතැනදී මධ්‍යම කඳුකරය වෙත සියලුම උපාංගවලින් සමන්විත වනජීවීන් ගලවා ගැනීමේ සහ ඔවුන් ප්‍රතිකාර ලබාදීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම කඩිනමින්ම සිදු කළ යුතුයි.” එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 18