“ණය දීමේ සාමාන්‍ය කොන්දේසි මත තරයේ රැඳී නොසිටින්න” – ජනපති ලෝක ප්‍රජාවට කියයි

“ණය දීමේ සාමාන්‍ය කොන්දේසි මත තරයේ රැඳී නොසිටින්න” – ජනපති ලෝක ප්‍රජාවට කියයි

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බිඳ වැටුණු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික නැවත ගොඩනැංවීම සඳහා බහු පාර්ශ්වීය සහ ද්විපාර්ශ්විය රාජ්‍ය ණය ප්‍රදානය කරන්නන්  ඉදිරියේදී ණය දීමේ සාමාන්‍ය කොන්දේසි මත තරයේ රැඳී නොසිටිය යුතු බව ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

‘කොවිඩ්-19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සඳහා මූල්‍යකරණය’ පිළිබඳ ඉහළ පෙළේ වීඩියෝ සම්මන්ත්‍රණයකට ඊයේ (27) එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ඒ අනුව බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් සිය ණය බැදීම් නොකඩවා ඉටු කර ඇති හෙයින්, රාජ්‍ය ණය ප්‍රදානය කරන්නන් විසින් සැලකිය යුතු සහනයක් මගින් මෙම රටවල් වෙත නව අවකාශ සැලසීමට කාලය පැමිණ ඇතැයිද ජනපතිවරයා ලෝක ප්‍රජාව හමුවේ සඳහන් කරයි.

රටවල් 49ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08ක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙම වීඩියෝ සම්මන්ත්‍රණය පැවැත්විණි.

“ලොව ප්‍රධාන පෙළේ ආධාර කණ්ඩායම්වල හා නායකයන්ගේ වගකීම තමන් අතර කොන්දේසි පනවා නොගෙන සංවර්ධන හවුල්කරුවන් ලෙස ඉදිරියට යාමයි. මහා පරිමාණ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික නියෝජිත ආයතනවල කඩිනම් ක්‍රියාමාර්ග වේගවත් කොට සංවර්ධනය වෙමින් පවතින රටවල හා මධ්‍ය ආදායම් ආර්ථිකයන්හි සංවර්ධනයට දායක විය යුතුය.” ජනපතිවරයා  වැඩිදුරටත් පවසා ඇත.

විශේෂයෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය, කාන්තාවන් හා ළමයින්, නව අපනයන කර්මාන්ත, ආහාර සුරක්ෂිතතාව හා වඩා යහපත් හා ස්ථාවර ලොවක් වෙනුවෙන් පරිසරය සුරැකීම ඇතුළු මානව සංවර්ධන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට රටවල් දිරි ගැන්විය යුතු බවත්, හදිසි ආධාර පහසුකම් තුළින් සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් රටවලට සහාය වන්නේ කෙසේදැයි මේ කතිකාවත තුළින් එකඟත්වයක් මතුවිය යුතු බවද ජනපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

“ගෝලීය වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, ආයෝජන හා සේවා නියුක්තිය අඩපණ වී තිබේ. කොවිඩ්-19 වසංගතය තිරසාරවූ ව්‍යාපාර හා ආර්ථිකයන් විනාශ කරමින් අස්ථාවර තත්ත්වයට පත් කර ඇත. සැබෑ ආර්ථිකය තවදුරටත් ආදායම් හා රැකියා උත්පාදනය නොකරන හෙයින් රාජ්‍ය මූල්‍ය හිඟය ක්‍රමානුකූලව පහත හෙළමින් සිටි රටවල් පසුබෑමට ලක්ව තිබේ. පහත වැටෙන ප්‍රවණතාවක පැවැති ණය පරිමාව ඊට අනුරූපව ඉහළ යාමකට ලක්ව ඇත.”

විශේෂයෙන්ම අක්‍රිය වත්කම් ඉහළ ගොස් ද්‍රවශීලතා අර්බුදයකට මුහුණදීමට සිදුවීමෙන් බැංකු ක්ෂේත්‍රයට පහර එල්ල වී ඇති බවත්, සමස්ත ඉතුරුම් – ආයෝජන සමීකරණ බිඳ වැටීම හේතුවෙන් සංවර්ධනය සඳහා මූල්‍ය සම්පාදනය මූල්‍යකරණය ගෝලීය ආර්ථිකයට අදාළ මාතෘකාවක් බවට පත්ව ඇතැයිද ජනපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

“මෙය රජයේ හා ව්‍යාපාරික ආයතනවල පාලනය ඉක්මවා ගිය අර්බුදයක්. ඒ නිසා බහු පාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය නිල ණය ප්‍රදානය කරන ආයතන වෙතින් කොන්දේසි විරහිත අය වැය සහයෝගය හා රාජ්‍ය ණය සඳහා ණය කල් දැමීමේ වන්දි ලබාදීම වැදගත් වෙනවා. පෞද්ගලික ණය සහ ලාභාංශ වෙළෙඳ පොළෙහි විශ්වාසය තහවුරුවීම සඳහා එවැනි ආකාරයෙන් අන්තර්ජාතික සහයෝගයන් ලැබිය යුතුමයි.” ජනපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

මෙම &කොවිඩ්-19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සඳහා මූල්‍යකරණය* පිළිබඳ ඉහළ පෙළේ වීඩියෝ සම්මන්ත්‍රණය සඳහා බ්‍රිතාන්‍ය අගමැති, කැනඩා අගමැති, ජපාන අගමැති, ප්‍රංශ ජනාධිපති, ජර්මානු චාන්සලර්, ස්පාඤ්ඤ ජනාධිපති, ඉතාලි අගමැති, යුරෝපා සංගමයේ සභාපතිනිය, පාකිස්තාන අගමැති ඇතුළුව ප්‍රධාන පෙළේ ලෝක නායකයන් රැසක් සහභාගි වී සිටියහ.

Visits: 23