සිලෝන් ටොබැකෝ 2019 දී රජයට රු. බි. 120ක් බදු ගෙවලා

සිලෝන් ටොබැකෝ 2019 දී රජයට රු. බි. 120ක් බදු ගෙවලා

මෙරට තුළ දුම්වැටි නිෂ්පාදනයේ ඒකාධිකාරය හිමි සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී (CTC) පසුගිය 2019 වසරේදී රජය වෙත රුපියල් බිලින 120.4ක බදු මුදලක් ගෙවා ඇතැයි පවසයි. ඒ අනුව සිය සමාගම රජයේ තනි විශාලතම බදු ගෙවන්නා බවට පත්ව ඇති බවත්, මෙය රජයේ සමස්ත බදු ආදායමෙන් 6%ක ප්‍රමාණයක් වන බවත් සමාගම සඳහන් කරයි.

2019 වසර සඳහා වන සිය සමාගමේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් සිලෝන් ටොබැකෝ සමාගම මේ කරුණු අනාවරණය කර සිටියි. එහෙත් 2018 වසරේ ඔවුන් ගෙවූ රුපියල් බිලියන 125ක  බදු මුදලට සාපේක්ෂව මේ වසරේ බදු මුදල රුපියල් බිලියන 5කින් අඩු වීමක් පෙන්නුම් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ වසර 114 කට වඩා වැඩි මෙහෙයුම් ඉතිහාසයක් සහිත සිය සමාගම 2019 වසරේදී පමණක් දේශීය සහ ග්‍රාමීය ආර්ථිකයන් වෙත යෙද වූ මුදල රුපියල් බිලියන 12.2ක් වන බවත් සමාගම මෙහි සටහන් කර ඇත.

එසේම 2019 දෙසැම්බර් 31 වැනිදා වනවිට සමාගම සතු සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 206ක් ලෙසත් සටහන්ව ඇත. එය කොළඹ කොටස් වෙළෙඳ පොළ සතු සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් 7%ක අගයක්ද ගනී.

කෙසේ වෙතත් පසුගිය වසරේදී ඇති අභියෝග මධ්‍යයේ වුවද සිය සමාගමට 4%ක වර්ධනයක්ද සමගින් රුපියල් බිලියන 28.69ක බදු පෙර ලාභයක් ළගා කරගැනීමට හැකි වුණු බවද සමාගම සඳහන් කරයි. විශේෂයෙන්ම පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව මෙන්ම වසර තුළ අවස්ථා දෙකකදී ඉහළ දැමූ දුම්වැටි බදු හා සම්බන්ධ මිල ඉහළ දැමීම්ද පාරිභෝගික රුචිය වෙත බලපෑ බවත් සමාගම පවසයි.

“මේ අභියෝග ජය ගැනීම සඳහා සමාගම එහි පිරිවැය සහ බෙදාහැරීමේ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් වන ක්‍රමෝපායික තීරණ රැසකටම මුලපිරුවා. එතැනදී සන්නාම සංවර්ධනය ඇතුළු කාරණාත් පසුගිය වසර තුළදී අපගේ ඉපැයීම් වර්ධනයට හේතු වුණා.” සිලෝන් ටොබැකෝ සමාගමේ සභාපති විලියම් පෙගෙල් සඳහන් කරයි.

එසේම මිලදී ගැනීමේ හැකියාව අනුව බැලූ විට නීත්‍යානුකූල සිගරට්ටුවක් සඳහා ලොව වැඩිම මිලක් අය කෙරෙන ලොව රට බවටද ශ්‍රී ලංකාව පත්ව ඇතැයි සමාගම මෙම වාර්තාව තුළ සඳහන් කරයි. විශේෂයෙන්ම ගෙවුණූ වසර 5ක කාලය තුළදී සිගරට් මිල 117% කින්  ඉහළ ගොස් ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර, රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින නීතිවිරෝධී දුම්වැටි වෙළෙඳ පොළ හේතුවෙන් සිය සමාගමේ වාණිජ තත්ත්වය වෙත මෙන්ම ජාතික සංවර්ධනය සඳහා ලබා දෙන දායකත්වයේ හැකියාව වෙතත් තර්ජනයක් එල්ල කර ඇතැයිද සමාගම පවසයි.

“ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා සමබර සහ සාක්ෂි පදනම් කරගත් නියාමනයක් සිදු කරන්න කියලා. ඒ හරහා සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ වන ඉලක්ක සාක්ෂාත් කරගන්නා අතරම වැඩිහිටි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනු ඇතැයිද අපි සිතනවා.”

සමාගම සඳහන් කරන ආකාරයට බදු දැලට හසු නොවෙන බීඩි සහ නීතිවිරෝධී දුම්වැටි මගින් අද වනවිට මෙරට වෙළෙඳපොළ තුළ පිළිවෙලින් 61%ක් සහ 8%ක් වන කොටසක් හිමි කරගෙන තිබේ. ඒ අනුව 31%ක් පමණ වන දුම්වැටි වෙළෙඳ පොළක් හිමි සිය සමාගම, දුම්වැටි හා සම්බන්ධ බදු සහ අය බදුවලින් 97% ක්ම ගෙවන බවත් සමාගම පෙන්වා දෙයි.

අද වනවිට සිලෝන් ටොබැකෝ සමාගම යටතේ දුම්කොළ වගාකරුවන් 20,000කට අධික පිරිසක් සිටින බවත්, සිල්ලර අලෙවි කරුවන් 58,700 කට අධික ප්‍රමාණයක් සිටින බවත් සමාගම පවසයි. ඒ අනුව සමාගම යටතේ  පවතින සැපයුම් දාමය හරහා සිය ජීවනෝපාය පවත්වාගෙන යන පිරිස 176,000 කට අධික වෙයි.

පසු සටහන –

කොවිඩ්-19 බලපෑමත් සමගම අකර්මණ්‍ය වූ රාජ්‍ය ආයතන කටයුතු හේතුවෙන් මාර්තු මාසයේ මැද සිට ගෙවුණු සති 6ක කාලය තුළදී රජයේ ආදායම් රැස්කිරීම රුපියල් බිලියන 120කට වඩා අඩු වී ඇතැයි මහා භාණ්ඩාගාරය මගිනි පසුගියදා අනාවරණය කෙරිණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්දුව යන ප්‍රධාන ආයතන තුළ ආදායම පහළ වැටීම ඊට හේතු වී තිබේ.

එසේම ඉදිරි වසර සඳහා අවශ්‍ය වන ඖෂධ වෙනුවෙන් අයවැයෙන් රුපියල් බිලියන 120ක මුදලක් වෙන් කළ යුතු බවට ඇස්තමේන්තුවක් සකස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ වසර ආරම්භයේදී පවසා සිටියාය. එහිදී රටේ මිනිසුන්ගේ බදුවලින් සොයන මුදල් මෙලෙස ඖෂධ සඳහා වෙන් කෙරෙන බවත් අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

Visits: 31