ETI තැන්පත්කරුවන්ට සහන දීමට ප්‍රධාන බාධාව ඊට එරෙහි නඩුවලු?

ETI තැන්පත්කරුවන්ට සහන දීමට ප්‍රධාන බාධාව ඊට එරෙහි නඩුවලු?

මූල්‍ය අර්බුදයට ලක්ව ඇති එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් (ETIFinance) සමාගමේ මුදල් තැන්පත් කර අගතියට පත් වූ තැන්පතුකරුවන් වෙත සහන ලබා දීම සඳහා මූලිකම බාධාව වී ඇත්තේ එම තැන්පත්කරුවන් විසින් ගෙන ඇති අධිකරණමය ක්‍රියාමාර්ගය බව මහ බැංකු අධිපතිවරයා කැබිනට් මණ්ඩලය වෙත දන්වා ඇතැයි වාර්තා වෙයි.

අද පෙරවරුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව අනාවරණය කර තිබේ. මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් මහතා විසින් මේ පිළිබඳ වන වාර්තාව ඊයේ දිනයේදී කැබිනට් මණ්ඩලය වෙත භාර දී තිබේ.

විශේෂයෙන්ම ETI Finance සහ වෙනත් මූල්‍ය සමාගම් තුළ මුදල් තැන්පත් කර ඇති තැන්පත්කරුවන්ට වර්තමානයේ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමගින්ම මුහුණ දීමට සිදුව ඇති දරුණු අර්බුදයට ලබා දිය හැකි සහනය සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපතිවරයා සිදුකළ නියෝගයකට අනුව ජනාධිපති ලේකම්වරයා සහ මහ බැංකුව අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම වාර්තාව ඉදිරිපත් වී ඇතැයි අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබුණි.

“මෙතැනදී එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ මුදල් තැන්පත් කරලා තිබෙන පිරිසට ඇතිවෙලා තිබෙන ප්‍රශ්නය, එහි ස්වභාවය පිළිබඳවත් වගේම ඒ සඳහා දැනට මහ බැංකුවට ඍජුව ප්‍රතිලාභයක් ලබා දීමට නොහැකිවීම පිළිබඳව මහ බැංකුව පැහැදිලි කර තිබෙනවා. එතැනදී ප්‍රධානම හේතුවක් තමයි තැන්පත් කරුවන් මේ ආයතනය සමග අධිකරණය ක්‍රියාමාර්ගයකට ගොස් තිබීම. ඒ නිසා මේ ක්‍රියාමාර්ගය අවසන් වන තෙක් කිසිදු සහනයක් ලබා දීමට නොහැකි බව මහ බැංකු අධිපතිවරයා කැබිනට් මණ්ඩලය වෙත දන්වලා තිබෙනවා.” අමාත්‍යවරයා පවසා තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලය දීර්ඝ ලෙස සිදුකරන සාකච්ඡාවකින් පසුව ලබන සතියේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග මේ තැන්පත්කරුවන්ට සහනයක් සලසා දීමට ගත හැකි ක්‍රියාමාර්ග පවතින්නේදැයි යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් (ETI Finance) හි මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වන ස්වාධීන සංගමය මගින් 2019 වසරේදී මෙම නඩුව පවරා තිබේ.

Visits: 20