ගෘහ විදුලි උපකරණවල මිල ගණන් මැයි 31 සිට ඉහළට?

ගෘහ විදුලි උපකරණවල මිල ගණන් මැයි 31 සිට ඉහළට?

මෙරට තුළ අලෙවි කෙරෙන ගෘහ විදුලි උපකරණවල මිල ගණන් මැයි 31 වැනිදායින් පසුව ඉහළ යාමේ හැකියාවක් පවතින බව එම ගෘහ විදුලි උපකරණ මෙරටට ආනයනය කර අලෙවි කරන සමාගම්වලින් ලැබෙන ආරංචි මාර්ග පවසා සිටියි.

මෙම සමාගම් සියල්ල එකට එක්ව සිදු කළ සාකච්ඡාවකට අනුව ගත් තීරණයක් යටතේ මෙම මිල ඉහළ දැමීම සිදුව තිබේ. එසේම දැනටමත් ඇතැම් භාණ්ඩවල මිල ගණන් ඉහළ දැමීමක්ද සිදුව ඇත.

රට තුළ ඩොලර් සංචිත ආරක්ෂා කරගැනීමේ අරමුණින් රජය විසින් ගෘහ විදුලි උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම තහනම් කර ඇති පසුබිමත් සමග මෙලෙස එම භාණ්ඩවල මිල ඉහළ යාමේ අවස්ථාවක් උදා වී ඇතැයි එම සමාගම් සඳහන් කරයි.

එසේම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් සිය ප්‍රදර්ශනාගාර වසා දැමීම නිසා පොදුවේ සිදුවූ මූල්‍ය පාඩුව මෙන්ම ලබා ගෙන ඇති ණය පියවීම සම්බන්ධ ගැටලු හේතුවෙන් එම සමාගම් සිය භාණ්ඩවල මිල මෙලෙස ඉහළ දැමීමට එකඟතාවකට පැමිණ ඇත.

මේ ගෘහ විදුලි උපකරණ අතරින් වායු සමීකරණ යන්ත්‍රවල මිල ගණන් පසුගිය මැයි 20 වැනිදා සිට ඉහළ දැමීමක්ද සිදුකර තිබේ. ඒ අනුව පෙර පැවැති මිලට වඩා රුපියල් 2,000ත් 4,000ත් අතර ප්‍රමාණයක මිල ඉහළයාමක් එම වායු සමීකරණ යන්ත්‍ර වෙත බලපා ඇතැයි මෙරට ප්‍රධාන පෙළේ ගෘහ විදුලි උපකරණ අලෙවි සමාගමක් මගින් පවත්වාගෙන යන ප්‍රදර්ශනාගාරයක කළමනාකාරවරයෙකු ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙත සඳහන් කර සිටියේය.

“සාමාන්‍යයෙන් අප්‍රේල් සහ දෙසැම්බර් සීසන්වලදී තමයි ගොඩක් ගෘහ විදුලි උපකරණ අලෙවි වෙන්නේ. ඒත් කොවිඩ්-19 එක්කම පසුගිය මාර්තු මාසයේ ඉදන් පැනවූ ඇඳිරි නීතිය නිසා ප්‍රදර්ශනාගාර වසා දමන්න වුණා. සැලසුම් කරගෙන තිබුණු ප්‍රවර්ධන සියල්ලම අත්හිටුවන්න වුණා. ඒ නිසා මුදල් ලැබීම් ඇණහිටියා.”

මෙලෙස අප්‍රේල් අවුරුදු සමයේදී අලෙවි කිරීම සඳහා මෙරටට ආනයනය කෙරුණු ගෘහ විදුලි උපකරණ විශාල තොගයක්ද මෙම සමාගම් අතර පවතින බවත්, ඉදිරි කාලසීමාවේදී මේ සියල්ල අලෙවි කරගැනීමත් එම සමාගම්වල අරමුණ වී තිබේ.

“ටීවී, රේඩියෝ ඉදන් සෑම ගෘහ විදුලි උපකරණයකම මිල යම් ප්‍රමාණයකින් වැඩි කරන්නයි තීරණය වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ආනයන තහනම ඉවත් කිරීමෙන් පස්සේ රජය ගන්නා තීරණය අනුව අලුතින් මෙරටට ගෙන්වන ගෘහ විදුලි උපකරණවල මිල ගණන් විශාල පරාසයකින් ඉහළ යාවි.” තවත් විදුලි උපකරණ ආනයන සමාගමක විධායක නිලධාරියෙකු ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙත පැවසීය.

Visits: 171