සංවර්ධන ලොතරැයි ටිකට් පත් ජූනි 01 වැනිදා සිට යළි වෙළෙඳ පොළේ

සංවර්ධන ලොතරැයි ටිකට් පත් ජූනි 01 වැනිදා සිට යළි වෙළෙඳ පොළේ

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද සංවර්තන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි අලෙවිය නැවතත් ජූනි 01 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි එම මණ්ඩලය පවසයි. ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලුම සන්නාමයන්ට අදාළ ලොතරැයිපත් මිලදී ගැනීමට එදින සිට පාරිභෝගිකයන්ට අවස්ථාව ඇතැයිද එම මණ්ඩලය සඳහන් කරයි.

මෙලෙස යළිත් ලොතරැයි අලෙවි කටයුතු ඇරඹීමේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි ජාලය වෙත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ලද ආරක්ෂිත අත්වැසුම් හා නිවැරදි සෞඛ්‍ය උපදෙස් ලබා දීම එම මණ්ඩලය විසින් දැනටමත් සිදු කර ඇතැයි  පවසයි.

මේ අතර අනපේක්ෂිත ලෙස 2020.03.17 දින සිට සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුද්‍රණය කර තිබූ සියලුම ටිකට්පත් තාවකාලිකව අලෙවියෙන් ඉවත් කළද එම ටිකට්පත් විනාශ නොකර නැවත දිනය මුද්‍රණය කර වෙළෙඳ පොළට නිකුත් කිරීමටද සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු යොදා තිබේ.

“කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ උද්ගතව තිබූ තත්ත්වයන් ක්‍රමයෙන් පහව යෑමත් සමග ලොතරැයි පාරිභෝගික ජනතාවගේ ලොතරැයි මිලදී ගැනීමට දක්වන කැමැත්ත විමසා බැලීම උදෙසා සංවර්ධන ලොතරැයි මණ්ඩලය එම මුද්‍රිත ටිකට් පත් නැවත දිනය මුද්‍රණය කර වෙළෙඳ පොළට ඉදිරිපත් කළා. එහිදී ලොතරැයි අලෙවියෙහි පෙන්නුම් කළා වූ සතුටුදායක ප්‍රවණතාවය හේතුවෙන් නැවතත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලු ලොතරැයි ජූනි 01 වැනිදා සිට වෙළෙඳ පොළට නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.” සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසයි.

මේ අතර නව දින මුද්‍රණය කළ ලග්න වාසනාව ටිකට්පත් 2020.05.18 දින සිට වෙළදපලට නිකුත් කර ඇති අතර, එළඹෙන මැයි 26 වන දින සිට පසුගිය මාසයන්ට අදාළ ලග්න වාසනාව ටිකට්පත් මෙන්ම අදකෝටිපති ලොතරැයිපත්ද නැවතත් දිනය මුද්‍රණය කර වෙළදපලට නිකුත් කරනු ලබන බවත් පවසයි.

ඊට අමතරව, කොරෝනා වෛරසය හේතුවෙන් ලොතරැයිපත් අලෙවිය තාවකාලිකව අත්හිටුවීමට පෙර 2020.04.04 දින දිනුම් ඇදීමට නියමිතව තිබූ ‘ශනිදා අවුරුදු වාසනා’ විශේෂ ටිකට්පත වෙළදපල වෙත නිකුත් කොට තිබූ බැවින් එම ටිකට්පත් දිනය සංශෝධන නොකර වෙළදපලෙහි පවතින අතර 2020.06.13 දින එම විශේෂ දිනුම් ඇදීම සිදුකරන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටී.

Visits: 127