කොටස් වෙළෙඳ පොළ විවෘතව තැබෙන කාලය දිග් කරයි

කොටස් වෙළෙඳ පොළ විවෘතව තැබෙන කාලය දිග් කරයි

කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කටයුතු හෙට (26දා) දිනයේ සිට තවත් පැය 1.30 කින් දිගු කරන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනයක් මගින් පවසයි.

ඒ අනුව පෙරවරු 11.00ට ගනුදෙනු සඳහා ආරම්භ කෙරෙන වෙළෙඳ පොළ පස්වරු 2.30 දක්වා විවෘතව තිබෙන බව සඳහන් වෙයි. කොළඹ කොටස්ස වෙළෙඳ පොළ වසා දමා සති 7කට පසුව පසුගිය මැයි 11 වැනිදා ගනුදෙනු යළි ඇරඹීමෙන් අනතුරුව දහවල් 1.00 දක්වා පමණක් ගනුදෙනු කටයුතු සිදු කෙරිණි.

රජය ගෙන ඇති තීරණයකට අනුව හෙට (මැයි 26) දිනයේ සිට රටෙහි ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කර තිබීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇතැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.

විශේෂයෙන්ම කොටස් වෙළෙඳ පොළ හා සම්බන්ධ පාර්ශ්වයන් මෙම ගනුදෙනු කාලය වැඩි කරන ලෙස සිදුකළ ඉල්ලීම්වලට දක්වන ප්‍රතිචාරයක් ලෙස මෙම තීරණය ගත් බවද ඔවුන් වැඩි දුරටත් සඳහන් කර සිටියි.

ඒ අනුව හෙට පෙරවරු 10.30 සිට 11.00 දක්වා පෙර ඇරඹුම් වටයක් ක්‍රියාත්මක අතර, පෙරවරු 11.00ට ගනුදෙනු සඳහා වෙළෙඳ පොළ විවෘත කෙරේ. ඒ අනුව 11 සිට සාමාන්‍ය ගනුදෙනු සිදු කෙරෙන අතර එය පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක වෙයි.

ගෙවුණු සති දෙකේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු එය වසා දැමීමට පෙර ප ැවැති තත්ත්වය හා සාපේක්ෂව සාර්ථකත්වයක්ද පෙන්නුම් කෙරිණි.

Visits: 17