SLTDA අනුමත හෝටල් සහ ආපනශාලා හෙට විවෘත කිරිමට අවසරද?

SLTDA අනුමත හෝටල් සහ ආපනශාලා හෙට විවෘත කිරිමට අවසරද?

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) අනුමැතිය සහිත කොළඹ නගරයේ පිහිටි තරු පහේ හෝටල් ඇතුළු හෝටල් සහ අවන්හල් හෙට සිට (26) විවෘත කිරීමට අවසරය ලබා දීමට පියවර ගෙන ඇති බවට මාධ්‍ය මගින් වාර්තා කර තිබේ. එහෙත් ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීම හෙට දිනයේදී ජනපතිවරයා සමගින් පවත්වන සාකච්ඡාවකින් පසුව ගන්නා බව විෂය භාර අමාත්‍යාංශය පවසයි.

කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන්ත චන්ද්‍රපාල මහතා උපුටා දක්වමින් මෙම මාධ්‍ය වාර්තා පළ වී තිබුණි. එහිදී සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් එම අවන්හල් සහ හෝටල් නිසි පරිදි පවත්වාගෙන යාමට එලෙස අවසර ලබා දී ඇතැයිද සෞඛ්‍ය නිලධාරීවරයා දී සදහන් කර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇඳිරිනීති සීමා නිසා මාස දෙකකට ආසන්න කාලයක් කොළඹ නගරයේ තරු පංතියේ හෝටල් ඇතුළු ආපනශාලා වසා දමා තිබුණි.

ඒ අනුව මෙලෙස විවෘත කෙරෙන ආයතන සෞඛ්‍යාරක්ෂිත නිසි ක්‍රමවේදයන්ට අනුගත වෙමින් පවත්වාගෙන යන්නේදැයි සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායම් යොදවා ගන්නා බවද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන්ත චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් පවසා තිබේ.

කෙසේ වෙතත් මෙලෙස හෙට දිනයේදී කොළඹ නගරයේ විවෘත කිරීමට අවසරය ලබා දී ඇත්තේ කවර අනුමැතිය ලැබූ හෝටල් සහ ආපනශාලා වෙත දැයි ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ අප සංචාරක සංවර්ධන අධිකාරියෙන් සිදු කළ විමසීමකට පිළිතුරු දුන් එහි ප්‍රකාශිකාවක, තවමත් සිය ආයතනය එවැනි අනුමැතියක් ලබා දී නොමැති බව පවසා සිටියාය.

ඒ අනුව, මේ පිළිබඳව අප විෂය භාර අමාත්‍යාංශය වන සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයෙන් විමසා සිටි අතර එහි ප්‍රකාශකයෙකු පවසා සිටියේ මෙම හෝටල් විවෘත කිරීම පිළිබඳ සාකච්ඡාවක් හෙට දිනයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇති බවයි.

පසුගිය කාලසීමාවේදීම සංචාරක කර්මාන්තය හා සම්බන්ධ පිරිස් සහ සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පැවැති සාකච්ඡාවලින් මතු වූ කරුණු සහ මාර්ගෝපදේශ සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී කතා බහ කෙරෙන බවත් ඔහු පැවසීය.

“අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ වගයක් ඉල්ලලා තිබුණා. ඒවා දැන් අපිට ලැබිලා තිබෙනවා. ඒ සියල්ල දැනටමත්  හෝටල් වෙත ලබාදීමක් සිදුකරලයි තියෙන්නේ. හැබැයි ඒ පිළිබඳව සාකච්ඡාව තියෙන්නේ හෙට දිනයේදීයි. ඇමතිතුමා, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය ඇතුළු නිලධාරීන්, සෞඛ්‍ය අංශ නිලධාරීන් ඇතුළු පිරිස් මේ සාකච්ඡාවට සහභාගි වෙනවා. මේ හෝටල් ආයිත් විවෘත කෙරෙන දිනය ගැන අවසන් තීරණයක් ගන්නේ මෙම සාකච්ඡාවේදීයි.” එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

Visits: 21