ලංකා අශෝක් ලේලන්ඩ් සතු තොග ඉදිරි මාස 9ට ප්‍රමාණවත්ලු

ලංකා අශෝක් ලේලන්ඩ් සතු තොග ඉදිරි මාස 9ට ප්‍රමාණවත්ලු

ශ්‍රී ලංකා රජය මගින් මාස තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක කර ඇති ආනයන සීමා යටතට මෝටර් රථ ඇතුළත් වුවත්, තමන් සතුව දැනට ඇති තොග ඉදිරි මාස නවයක ඉල්ලුමට ප්‍රමාණවත් තරමින් පවතින බව ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගම පවසයි.

විශේෂයෙන්ම මෙම ආනයන සීමාව, රටෙහි පවතින තත්ත්වය අනුව තවදුරටත් දිගු වීමේ අවස්ථාවක් පැවතීමත් සමගම තමන් මෙම තීරණයේ පසුවන බව සමාගම කොළඹ කොටස් වෙළෙද පොළ වෙත ලිපියක් මගින් දන්වා සිටියි. ඒ අනුව මෙම කාලසීමාවේදී අමතර කොටස් පිළිබඳ අවශ්‍යතාවක් ඇති වුවහොත් ඒවා දේශීයව සපයා ගැනීමට කටයුතු කරන බවද ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සිය සමාගමෙහි ව්‍යාපාර මෙහෙයුම් වෙත සිදුව ඇති බලපෑම දන්වන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ සිය ලැයිස්තුගත සමාගම් වෙත සිදු කර තිබූ ඉල්ලීමට පිළිතුරු ලෙස ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගම මෙම කරුණු දක්වා තිබේ.

“රජය මාස තුනක කාලයකට රට තුළට මෝටර් රථ ආනයනය තහනම් කර තිබෙනවා. මෙය රටෙහි පවතින තත්ත්වය අනුව තවදුරටත් දිගු වෙන්න පුළුවන්. කෙසේ නමුත් මෙය දැනට අප සතුව පවතින රථවාහන අලෙවි කරගැනීමට වගේම අලුත් ආනයන සඳහා මුදල් යෙදවීමත් වළක්වා ගැනීමට ලැබුණු යහපත් අවස්ථාවක්ද වෙනවා.” සමාගම පවසයි.

එහිදී විශේෂයෙන්ම ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා ලෙස මෙන්ම ශ්‍රී ලංකා රජය සිය සමාගමේ ප්‍රධානතම ගැනුම්කරුවා ලෙස පවතිද්දී තමන්ට කිසිදු ආකාරයක බරපතල ගැටලු වෙත මුහුණ දෙන්නට සිදු නොවනු ඇතැයිද ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගම විශ්වාසය පළ කර සිටියි.

කාලයක පටන්ම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත මෙන්ම යුද හමුදාව ඇතුළුව රජයේ ආයතන වෙතද මගී බස් රථ ඇතුළු මෝටර් රථ සැපයීමේ ප්‍රමුඛයා වන්නේද ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගමයි.

“ලබන වසර සඳහා දැනට පුරෝකතනය කර තිබෙන මුදල් ප්‍රවාහය අනුව සමාගමේ ද්‍රවශීලතා තත්ත්වය පිළිබඳව කළමනාකරණය දැනටමත් තක්සේරුවක් සිදු කර තිබෙනවා. ඒ අනුව, ලබන වසරේත් මාස හයක කාලයක් කිසිදු බාධාවකින් තොරව ව්‍යාපාර මෙහෙයුම් පවත්වාගනෙ යා හැකි වෙනු ඇතැයි කළමනාකාරීත්වයේ අදහසයි.” සමාගම පවසා සිටියි.

මේ අතර, කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් සිය මෙහෙයුම් අඩපණ වී ඇති ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යෝජනා කර ඇති ණය පමාසහනය වෙනුවෙන්ද අදාළ බැංකු සමගින් කටයුතු කිරීමටද සමාගම කටයුතු යොදා ඇතැයි පවසයි. එහිදී මෙය ඉදිරි මාස කිහිපය සඳහා තමන්ට සහනයක් වෙනු ඇතැයිද සමාගමේ අදහස වී තිබේ.

විශේෂයෙන්ම මෙම වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ අයහපත් ගෝලීය තත්ත්වය සිය ව්‍යාපාර මෙහෙයුම් වෙත බලපෑම් එලල් කළ බවත් ශ්‍රී ලංකාවේ පැවැති තත්ත්වය, සමාගමේ නිෂ්පාදනවල ප්‍රභව වෙළෙඳ පොළ සහ ජාත්‍යන්තර ගුවන් යානා කර්මාන්තයේ ස්ථාවරත්වය පිළිබඳ ගැටලු එහිදී ප්‍රධාන වූ බවත් සමාගම පවසයි.

මේ සියල්ලමත් සමගින් අද වනවිට යම් ආකාරයක මූල්‍යමය බලපෑමක් සමාගම වෙත එල්ල වී තිබුණත්, සමාගමේ නිෂ්පාදන වෙත ලැබෙන ඇනවුම් සමගින් කොවිඩ්-19 හි බලපෑම යම් පමණකින් හෝ සමනය කරගැනීමට කටයුතු යොදන බවද ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකරනය කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත සහ සිය කොටස්හවුල්කරුවන් වෙතත් දන්වා තිබේ.

Visits: 139