පෙට්‍රල් මිල ඉහළ දැමීම නිසා IOC පිරවුම්හල් හිමියෝ යළි අර්බුදයකට

පෙට්‍රල් මිල ඉහළ දැමීම නිසා IOC පිරවුම්හල් හිමියෝ යළි අර්බුදයකට

ලංකා අයිඕසි පෞද්ගලික සමාගම සිය ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ගණන් රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමගින්ම එම IOC ඉන්ධන පිරවුම්හල් හිමිකරුවෝ යළිත් වරක් අර්බුදයකට පත්ව තිබෙන බව ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙත වාර්තා වෙයි.

ඊයේ (මැයි 17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා අයිඕසී පෞද්ගලික සමාගම සිය ඔක්ටේන් 92 පෙට්‍රල් ඉන්ධන ලීටරයක මිල පමණක් රුපියල් 137 සිට රුපියල් 142 දක්වා රුපියල් 5කින් ඉහල දැමීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇති තත්ත්වයකදී මෙලෙස මිල ඉහළ දැමීම පිළිගත නොහැකි බවද එම හිමිකරුවන් සඳහන් කරයි. ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් හා සාපේක්ෂව ඉන්දියන් ඔයිල් ඉන්ධන පිරවුම්හල් තුළ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5 කින් වැඩි තත්ත්වයක්  උද්ගතව ඇත.

පසුගිය වසර අවසානය සහ මේ වසර ආරම්භයේදීද මෙම ගැටලුව තදින්ම පැවැති අතර, මෙම මිල විෂමතාව නිසා බොහෝ පාරිභෝගිකයන් තමන් හැරයන තත්ත්වයක් හට ගෙන ඇතැයිද ලංකා IOC පිරවුම්හල් හිමියෝ පවසා සිටියහ.

ඔවුන් පසුගිය පෙබරවාරි මාසයේදී මේ පිළිබඳ දැවැන්ත උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියන් ඔයිල් සමාගමේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137 තත්ත්වයට පත් කෙරිණි.

“දැන් ආයිත් සැරයක් අපිට මේ ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. ලොකු සටනක් කරලා තමයි අපි මේ මිල සමාන කර ගත්තේ. ඊට පස්සේ අපේ පිරවුම්හල්වලට පැමිණෙන පාරිභෝගිකයන් යම් ප්‍රමාණයකින් ඉහළ ගියා.” එක් ඉන්දියන් IOC ඉන්ධන පිරවුම්හලක හිමි කරුවෙකු එලෙස අප හා පවසා සිටියේය.

ගෙවුණු මාස දෙකක කාලයක් තුළ මෙරට ජනතාව අතර ඉන්ධන සඳහා වන ඉල්ලුම අඩුවීමත් සමග ඉන්දියන් IOC සමාගම ලැබූ අලාභය පියවා ගැනීමේ එක් පියවරක් ලෙස මෙලෙස යළිත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව එම පිරවුම්හල් හිමිකරුවෝ සඳහන් කරයි.

“IOC සමාගම තීරණය කරන මිලට පෙට්‍රල් දෙන්න අපට දැන් සිද්ධ වෙනවා. රජය මේ ගැන තවම බලලා මේ මිල ගැන හරි යාන්ත්‍රණයක් සකස් කරලාවත් නැහැ. පසුගිය මාස දෙකේ රටේ ඇඳිරි නීති සීමා තිබුණු නිසා අපිටත් හරි හමන් ආදායමක් තිබුණේ නැහැ. දැන් තමයි යාන්තමින් හරි අපේ අලෙවිය යථා තත්ත්වයට පත්වෙමින් තියෙන්නේ. ඒ වෙලාවෙම මේ මිල ගණන් ඉහළ දැම්මහම ආයිත් අපේ පාරිභෝගිකයන් අපෙන් ඈත් වෙනවා.” තවත් IOC ඉන්ධන පිරවුම් හල් හිමිකරුවෙකු එලෙස පවසා සිටියේය.

පසුගිය මාර්තු මාසයේදී රජය ගන්නා ලද තීරණයකට අනුව ඉන්දියන් ඔයිල් සමාගම මගින් මෙරටට ගෙන්වන ඉන්ධන සඳහා අමතර බදු මුදලක් අය කෙරෙන බව ඉන්ධන හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත අනාවරණය කර තිබුණි.

එම සමාගම මගින් පසුගිය කාලසීමාවේදී උපයා ගත් අධික ලාභයත්, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසියත් සමගම එම අවස්ථාවේදී ඉන්දියන් ඔයිල් සමාගම තවත් ලාභ ලබා ගැනීමත් සලකා බලමින් රජය මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා එහිදී සදහන් කළේය. විශේෂයෙන්ම රට තුළ විදේශ විනිමය ආරක්ෂා කරගැනීමේ එක් උපක්‍රමයක් ලෙසටද මෙය හඳුන්වා දෙන බව රජයේ අදහස විය.

මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම රජය විසින් පිහිටුවා ඇති කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 5ක මුදල් ප්‍රදානයක්ද සිදු කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණි.

“ඉන්දියන් ඔයිල් සමාගම තමන්ගේ මේ වියදම් සියල්ලම අපේ සහ පාරිභෝගිකයන්ගේ පිට පැටවීමක් තමයි සිදු කරලා තියෙන්නේ. හැබැයි තවමත් ඔක්ටේන් 92 පෙට්‍රල් සඳහා විතරක් මේ මිල ඉහළ දැමීම නිසා එය යම් කාලයකට ගැටලුවක් නොවේවි. ඒත් අනෙක් ඉන්ධනවලටත් එය බලනොපාවි කියලා කාටවත් විශ්වාසයෙන් කියන්න බැහැ. ඒ නිසා ඉදිරියේදී ඉන්දියන් IOC ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය රැස්වෙලා මේ සම්බන්ධයෙන් ගත හැකි පියවර ගැන සාකච්ඡා කරනවා.” ඉන්දියන් IOC පිරවුම්හල් හිමියෙකු සඳහන් කළේය.

2002 වසරේදී ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙරට ව්‍යාපාර ඇරඹූ ඉන්දියන් ඔයිල් සමාගම සතුව අද වනවිට දිවයින පුරා ක්‍රියාත්මක පිරවුම්හල් 150කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරයි.

Visits: 19