රජය තීරු බදු සාප්පු වලින් මාස තුනක කුලී එපා කියයි

රජය තීරු බදු සාප්පු වලින් මාස තුනක කුලී එපා කියයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි පිහිටි තීරු බදු සාප්පු ඇතුළු සේවා සපයන ආයතනවලින් මාස 3ක කුලී අය නොකිරීමට තීරණය කළ බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබේ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගුවන් තොටුපොළ වසා දමා තිබීම නිසා එම සාප්පු වෙත එල්ල වූ පීඩනය ලිහිල් කිරීමක් ලෙස මෙම තීරණය ගෙන ඇත. කටුනායක ගුවන් තොටුපොළේ සේවා සපයනු ලබන ආයතන හා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගියදා පැවැති සාකච්ඡාවකදී මෙය තීරණය කෙරී ඇත..

“ඒ අනුව පිටවීමේ හා පැමිණීමේ පර්යන්තයේ ඇති තීරු බදු රහිත සාප්පු, සේවා ආයතන හා සංචාරක සේවා කුටිවලින් මාස 3ක කාලයක් මාසික කුලිය අය නොකෙරෙන අතර, එය 2020 මාර්තු 19 සිට මාස තුනක කාලයකට වලංගු වෙයි. ඊට අමතරව ගුවන් තොටුපොළ තුළ සිය සේවා කුටි පවත්වාගෙන යනු ලබන ගුවන් සමාගම්වලින් 2020 අප්‍රේල් මාසයේ සිට මාස 3ක කාලයක් සඳහා මාසික ගාස්තු අය නොකෙරේ” ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

එසේම ගුවන් තොටුපොළ භාණ්ඩ ගබඩා කර තබා ගැනීමේ පහසුකම් ලබා ගන්නා ආයතනවලින් අප්‍රේල් මාසයේ සිට මාස 3ක කාලයක් සඳහා ඔවුන්ගේ මාසික ගාස්තුවෙන් 50%ක් පමණයක් අය කිරීමටද තීරණය වී ඇත.

මීට අමතරව රත්මලාන ගුවන් තොටුපොළේ ගුවන් යානා අංගනයේ ගුවන් යානා නතර කර තැබීමෙ ගාස්තුද 2020 මාර්තු 19 සිට මාස 3 ක කාලයක් සඳහා අය නොකිරීමටද තීරණය කර ඇත.

Visits: 31