ධම්මිකගේ ගණන් සාස්තරේ 99.98% හරි යයි

ධම්මිකගේ ගණන් සාස්තරේ 99.98% හරි යයි

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා විසින් ඊයේ (මැයි 17) දිනය වනවිට ලොව තුළ වාර්තා විය හැකි කෝවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පිළිබඳව පසුගිය සතිය ආරම්භයේදී සිදු කළ අනාවැකියක් 99.98% කින් සාර්ථක වී ඇතැයි වාර්තා වෙයි.

විජය පුවත්පත් සමාගමේ Daily FT පුවත්පත සහ සම්පත් බැංකුවට අනුබද්ධිත SC Securities (සම්පත් සෙකියුරිටීස්) ආයතනය එක්ව පසුගිය මැයි 10දා පැවැත්වූ අන්තර්ජාල Webinar සංවාදයක් අතරතුරදී ධම්මික පෙරේරා මහතා මෙම අනාවැකිය ඉදිරිපත් කර තිබේ.

“ලබන ඉරිදා (මැයි 17 වැනිදා) පෙරවරු 11.00 වන විට ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 3%ක ධන හෝ ඍණ වෙනසක් සහිතව මිලියන 4.715ක් (හතලිස් හත්ලක්ෂ පහලොස් දහසක) අගයකට පත් වේවි” ඔහු එහිදී පවසා ඇත.

ඒ අනුව ඊයේ (මැයි 17 වැනිදා) ග්‍රනිච් මධ්‍යයන වේලාවෙන් 05.20 පැයට එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11.00ට ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4.721 ක් (හතලික් හත් ලක්ෂ විසි එක්දහසක්) බවට පත්ව තිබුණු බව www.worldometers.info/coronavirus/ යන වෙබ් ලිපිනය තුළ සඳහන්ව ඇතැයි මේ පිළිබඳව පුවත ගෙන එන ඩේලිඑෆ්ටී පුවත්පත සඳහන් කරයි.

ඒ අනුව මෙය ධම්මික පෙරේරා මහතාගේ පසුගිය සතිය මුලදී සිදුකළ අනාවැකියේ නිවැරදිභාවය 99.98% ක් බවට පත්වීමේ අවස්ථාවක්  ලෙසද සඳහන් වෙයි.

මෙලෙස ඉතාමත් සාර්ථකව එම ඉලක්කම් අනාවැකිය ප්‍රකාශ කිරීම සඳහා තමන් ගණිතමය ක්‍රමවේදයක් භාවිතා කළ බව ඔහු පවසයි. එය එක්සත් ජනපද රජයද අනාගතයේදී ඇති විය හැකි කොවිඩ්-19 ආසාදනයවීම් කළමනාකරණය සඳහා යොදා ගන්නා ක්‍රමය හා සමාන බවද ඔහු සඳහන් කර තිබේ.  

ධම්මික පෙරේරා මහතා සහ අගමැතිවරයාගේ ජ්‍යෙෂ්ට ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් සහභාගි වූ මෙම අන්තර්ජාල සාකච්ඡාව www.ft.lk/ft_tv/Post-COVID-19-Impact-on-the-Economy-and-CSE/10520-699945 යන වෙබ් ලිපිනය හරහා නැරඹීමේ අවස්ථාව ඇත. කොවිඩ් -19 වසංගතයෙන් පසු ආර්ථිකය වෙත සහ කොටස් වෙළෙඳ පොළ වෙත සිදුවන බලපෑම මැයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

ධම්මික පෙරේරා මහතා මේ වනවිට ගණිතය පිළිබඳව දරුවන් උනන්දු කරවීම සඳහා කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා DP Education නමින් ආයතනයක්ද පවත්වාගෙන යයි.

Visits: 21