ලොක්ඩවුන් සීමාවලින් පසු සුඛෝපභෝගී පෞද්ගලික වෙරළ සංචාරයකට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවත්

ලොක්ඩවුන් සීමාවලින් පසු සුඛෝපභෝගී පෞද්ගලික වෙරළ සංචාරයකට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවත්

ලොව පුරා ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමෙන් අනතුරුව උදා වන සංචාරක සමයේදී සුඛෝපභෝගී පෞද්ගලික වෙරළ සංචාරකයන් සඳහා වඩාත් සුදුසු රටවල් 08 අතර ශ්‍රී ලංකාවත් තිබෙන බව ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව පවසයි.

ලොව අංක එකේ සුඛෝපභෝගී සංචාරක මෙහෙයුම් සිදුකරන ආයතනයක් වන Black Tomato විසින් මෑතකදී නිකුත් කරන ලද 2020 වසරේ අගභාගයේ සහ 2021 වසරේ සංචාරක පුරෝතනයන් උපුටා දක්වමින් එම සඟරාව මේ කරුණු අනාවරණ  කරයි.

එම ආයතනයේ සම-නිර්මාතෘවරයා වන ටොම් මාර්චන්ට් මෙම ලැයිස්තුව සකස් කර ඇති අතර, ඔහු මෙම ස්ථාන සිය ලැයිස්තුවේ මුල් තැන් සඳහා යොදා ගැනීමට මූලිකම හේතුව, එම ස්ථාන සතු ‘අසීමාන්තික අවකාශයේ තිබෙන නිදහස’ බව සඳහන් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ දකුණු දිග තංගල්ල ආශ්‍රිතව පිහිටි අමන්වැල්ල වෙරළ තීරය සහ මාතර වැලිගම තුඩුව ආශ්‍රිත වෙරළත් වඩාත් හොඳ තෝරා ගැනීම් බව සඳහන් වෙයි. මෙහිදී Black Tomato එම වෙරළ ආශ්‍රිතව පිහිටි සුඛෝපභෝගී හෝටල් දෙකක්ද සංචාරකයන් වෙනුවෙන් නිර්දේශ කර තිබේ.

ඒ අතරින් අමන්වැල්ල වෙරළ පොල් ගස්වලින් සමන්විත වන බවත්, ශ්‍රී ලංකාවේ පිහිටි වඩාත් සුන්දරම සහ නිස්කලංකම ස්ථානයක් ලෙසත් හඳුන්වාදී තිබේ. ඒ අනුව මෙම ස්ථානය වඩාත් සුවිශේෂී, පෞද්ගලික නිවාඩුවක් ගත කිරීම සඳහා වඩාත් ගැලපෙන බවද සඳහන් කෙරී ඇත. මෙහිදී Black Tomato හි නිර්දේශය වන්නේ අමාන් ගෘප් වෙත අයත් ‘Amanwella‘ හෝටලයයි.

එසේම මාතර වැලිගම වෙරළ තීරය ආශ්‍රිත සුඛෝපභෝගී පෞද්ගලික සංචාරයක් සඳහා ඔවුන් නිර්දේශ කරන්නේ ඩිල්මා තේ පෞද්ගලික සමාගමට අයත් resplendentceylon සමාගම යටතේ ක්‍රියාත්මක ‘Cape Weligama‘ හෝටලයයි. එය ප්‍රමාණයෙන් කුඩා වුවත් පෞද්ගලික සුඛෝපභෝගී සංචාරකයක සුදුසු බවත් එය Relais & Châteaux හි සාමාජිකයෙකු වීම එහිදී ප්‍රධාන බවත් මෙහි සඳහන් වෙයි.

“පසුගිය වසරේදී එල්ල වූ ව්‍යසනකාරී ප්‍රහාර ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම් වෙත දැඩිව බලපෑවා. එහෙත් එම බාධා  හමුවේ වුවද ඔවුන් යළි හොඳ නැගී සිටීමක් පෙන්නුම් කළා. ලොක්ඩවුන් සීමාවලින් අනතුරුව හුදෙකලා වෙරළ සංචාරයක් සඳහා  ශ්‍රී ලංකාව මේ මොහොතේදී ඉතාමත් සුදුසුයි. මොකද අද වෙන කොට පෙර කවරදාකවත් තිබුණාට වඩා අඩු සංචාරයක් පිරිසක් තමයි රටට එන්නේ.” Black Tomato පවසයි.

ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයින, ග්‍රීසිය, මෙක්සිකෝව, හවායි, කොස්ටා රිකා, ඇන්ටිගුආ සහ බ්‍රිටිෂ් වර්ජින් දූපත් රාජ්‍යයන් සහ දූපත්හි පිහිටි වෙරළ තීරයන් ලොව සුඛෝපභෝගී පෞද්ගලික සංචාරක අත්දැකීමක් සඳහා වඩාත් සුදුසු ස්ථාන බවට මෙහිදී හඳුන්වාදී තිබේ.

“පහළින් ඇති සුමුදු වැල්ලත්, ඉහළින් ඇති නිල් අහසත් නිරන්තරයෙන් එකිනෙක වැදෙන රළ පහරේ ශබ්දයත් සමගින් තමයි මම කියන මේ ලෝකයේ වඩාත් හොඳ අසීමාන්තික අවකාශය බිහි වෙන්නේ.” Black Tomato හි සම නිර්මාතෘ ටොම් මාර්චන්ට් පවසයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වයන් උදාවීම සඳහා ලොව රජයන් කොවිඩ්-19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පනවා ඇති ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීම අනිවාර්යය වී ඇති බවත්, ඉදිරි මාස කිහිපයේදී නම්‍යශීලීත්වය වඩාත් ප්‍රධාන වෙනු ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

Visits: 13