කොරෝනා මැද අලුත් වූ කටුනායක ගුවන් තොටුපොළ

කොරෝනා මැද අලුත් වූ කටුනායක ගුවන් තොටුපොළ

කටුනායක ගුවන් තොටුපොළ තුළ අලුතින් ඉදි කෙරුණු පිටවීමේ මහජන පර්යන්තය සහ කටුනායක ගුවන් තොටුපොළ නව ප්‍රවේශ මාර්ගය පසුගියදා විවෘත විය. කටුනායක ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම ඉදිකිරීම් සිදුව තිබේ.

මෙහිදී නව පිටවීමේ මහජන පර්යන්තය සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 238 කි. ගුවන් තොටුපොළ නව ප්‍රවේශ මාර්ගය සහා වැය වූ මුදල රුපියල් මිලියන 200  ක් බව කාර්මික, අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

මෙම මගී පර්යන්තය තුළ ගුවන් මගීන්ට එළිමහන් උද්‍යාන  පහසුකම් නව සාප්පු සංකීර්ණයක් ගුවන් සමාගම්වලට සිය කාර්යාල පහසුකම්වලින්ද සමන්විත වෙයි. අලුතින් විවෘත කෙරුණු කටුනායක නව ප්‍රවේශ මාර්ගය මීටර් 600ක් පළලින් යුක්තව ධාවන පථ 4කින් සමන්විත වෙයි.

එම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙම නව ඉදිකිරීම් විවෘත කිරීමට නියමිතව තිබුණත්, මැතිවරණ නීතිවලට ගරුකරමින් ඇමතිවරයා මෙ අවස්ථාවට සහභාගි නොවී එය ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපති ඇති අධ්‍යක්ෂමණ්ඩලය වෙත භාර දී තිබූ බවත් අමාත්‍යාංශ සඳහන් කරයි.

කටුනායක ගුවන් තොටුපොළ තුළ සිදු කළ හැකි වාර්ෂික මගී මෙහෙයුම් සංඛ්‍යාව මිලියන 06කි. එහෙත් මේ වනවිට එය වාර්ෂිකව මගීන් මෙහෙයුම් මිලියන 12ත් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව ගුවන් තොටුපොළ පුළුල් කිරීමක් සඳහා යොමුවීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී තිබුණි.

විශේෂයෙන්ම 2017 වසරේදී ආරම්භ කෙරුණු මෙම මගී පර්යන්තයේ ඉදිකිරීම් අඩාල වී තිබූ බවත්, වත්මන් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත්වීමෙන් එහි ඉදිකිරීම් නැවත ආරම්භ වූ බවත් පැවසෙයි.

කටුනායක ගුවන් තොටුපොළ ප්‍රවේශ මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර මේ වනවිට ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 300කට ආසන්න බවත් අමාත්‍යාංශය පවසයි. එහි ඉදිකිරීම් මේ වසරේ ඔක්තෝබර් මාසයේදී අවසන් කිරීමටද නියමිතව ඇත.

ඡායාරූප – ඒවියේෂන් වොයිස්

Visits: 20