බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා අනුව කොවිඩ්-19ට පෙර ශක්තිමත්ම සන්නාම 10

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා අනුව කොවිඩ්-19ට පෙර ශක්තිමත්ම සන්නාම 10

ලෝකයේ මුල් පෙළේ ස්වාධීන සන්නාම ඇගයීම් සහ ක්‍රමෝපායික උපදේශන සේවා ලබා දෙන ආයතනයක් වන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව වන ‘බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා’ විසින් සිදු කරන ලද 2020 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම සහ වටිනාම සන්නාම 100 පිළිබඳ ඇගයීම පසුගියදා නිකුත් විය.

මෙවරදී සිය සන්නාම ඇගයීම සඳහා බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා ආයතනය කොවිඩ්-19 වසංගතයේ බලපෑම එම සන්නාම වෙත එල්ල වන ආකාරය පිළිබඳවද අවධානය යොමු කර ඇති අතර, එහිදී සමස්ත සන්නාම වටිනාකම් 9.5% කින් අවප්‍රමාණය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එය සන්නාම සතු සමස්ත මූල්‍ය වටිනාකමින් රුපියල් බිලියන 57.4 කි. බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා ඇස්තමේන්තුව අනුව මෙම සන්නාම 100 සතු සමස්ත වටිනාකම රුපියල් බිලියන 603කි.

මෙහිදී කොවිඩ්-19 වසංගයේ බලපෑම එල්ල වීමට පෙරාතුව මෙම සන්නාම සතුව පැවැති ශක්තිමත් භාවය අනුව එම සන්නාම වර්ගීකරණය කිරීමට බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා කටයුතු යොදා තිබේ. එම ශක්තිමත්භාවය අනුව එම සන්නාම වර්ගීකරණයටද ලක් කෙරී ඇත.

ඒ අනුව එහි පළමු ස්ථානය හිමි කරගෙන ඇත්තේ ඩයලොග් ආසිආටා සමාගමයි. ඩයලොග් සමාගම මෙම ඇගයීමේ වඩාත් වටිනාම සන්නාමය බවටත් පත්ව තිබේ.

කෙසේ වෙතත් මෙම වටිනාම සන්නාම යටතේ මුල් 10 අතර වැඩි වශයෙන් බැංකු ඇතුළත්ව තිබුණත්, ශක්තිමත්ම සන්නාම කාණ්ඩය යටතේ මුල් 10 අතර බැංකු තුනක් පමණක් ඇතුළත්ව තිබීමත් විශේෂත්වයකි. කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ මහජන බැංකුව එම වාණිජ බැංකු වෙයි.

ඩයලොග් ආසිආටා සමාගම මෙම බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකාහි ශක්තිමත්ම සන්නාමය යටතේ 2020 වසරේදී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 86.1 කි. ඔවුන් වෙත හිමිව ඇති සන්නාම වර්ගීකරණ AAA වෙයි. 2019 වසරේදී ඩයලොග් සමාගම ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 82.4ක් වන අතර එම අවස්ථාවේදී සන්නාම වර්ගීකරණය AAA- විය.

“පවතින අභියෝගාත්මක තත්ත්වයන් මඟහරවමින් සිය සමාගමේ ශක්තිමත් සන්නාමය තවදුරටත් ඉදිරියට රැගෙන යාම සඳහා නව තාක්ෂණය යොදා ගැනීම සහ සිය මූල්‍ය සාර්ථකත්වය පවත්වාගෙන යාම සඳහා වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක කර තිබෙන ක්‍රමෝපායික පියවර යනාදියත් මෙලෙස ඩයලොග් සමාගම වෙත AAA වර්ගීකරණය ලබාදීමට හේතු වී තිබේ.” බ්‍රෑන්ඩ්ස් ෆිනෑන්ස් ශ්‍රී ලංකා පවසයි.

මෙම ශක්තිමත්ම සන්නාම අතර දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ කොමර්ෂල් බැංකුවයි. 2020 වසරේදී ඔවුන් ලකුණු 85.7ක් හිමි කරගෙන ඇති අතර, සන්නාම වර්ගීකරණය AAA මට්ටමේ පවතී. 2019 වසරේදී එම ලකුණු ප්‍රමාණය 73.7ක් වූ අතර සන්නාම වර්ගීකරණය AA විය.

තෙවැනි ස්ථානය සම්පත් බැංකුවට හිමිව තිබේ. එහිදී 2020 සඳහා ඔවුන් හිමි කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 82.6 කි. සන්නාම වර්ගීකරණය AAA- වෙයි. 2019 වසරේදී සම්පත් බැංකුව ලකුණු 77.3ක් හිමි කරගෙන තිබූ අතර සන්නාම වර්ගීකරණයේ මට්ටම AA+ ක් ලෙස සටහන්ව තිබේ.

එලිෆන්ට් හවුස් සන්නාමය සිව්වැනි ස්ථානයට පත්ව තිබෙන අතර, ඔවුන් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 81.9 කි. එය AAA- සන්නාම වර්ගීකරණයක් ලෙස නම් වී තිබේ. 2019 වසරේදී ඔවුන් 80.0ක ලකුණු ප්‍රමාණයක් හිමි කරගෙන තිබූ අතර, සන්නාම වර්ගීකරණය AAA- මට්ටමේම පැවතුණි.

ලංකා බැංකුව මෙවර බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකාහි ශක්තිමත්ම සන්නාම වර්ගීකරණයේ 5 වැනි ස්ථානයේ පසුවෙයි. ඔවුන් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 80.4 කි. එහි සන්නාම වර්ගීකරණය AAA- වෙයි. 2019 වසරේදී එම බැංකුව ලකුණු 75.1ක් ලබා ගෙන ඇති අතර සන්නාම වර්ගීකරණය AA+ ලෙස සටහන්ව තිබී ඇත.

මෙම වර්ගීකරණයේ 6 වැනි ශක්තිමත්ම සන්නාමය බවට පත්ව ඇත්තේ නෙස්ලේ සමාගමයි. 2020 වසරේදී ඔවුන්  ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 80.3 කි. එය AAA- සන්නාම වර්ගීකරණ මට්ටමක් ලෙස සටහන්ව ඇත. 2019 දී එම ලකුණු සංඛ්‍යාව 76.2ක් ලෙස සටහන්ව ඇති අතර සන්නාම වර්ගීකරණ මට්ටම AA+ වෙයි.

කීල්ස් සමාගම මෙම වර්ගීකරණයේ 7 වැනි ස්ථානයට පත්ව තිබේ. 2020 වසරේදී ඔවුන් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 79.7 කි. එය AAA- සන්නාම වර්ගීකරණ මට්ටමකි. 2019 දී කීල්ස් සමාගම ලකුණු 76.6ක් ලබා ගෙන ඇති අතර එහි සන්නාම වර්ගීකරණය AA+ මට්ටම බව සඳහන් වෙයි.

මෙහි අට වැනි ස්ථානය සෙලින්කෝ ලයිෆ් සමාගම වෙත හිමිව ඇත. එහිදී 2020 වසර සඳහා ඔවුන් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 78.2 කි. එය AA+ මට්ටමේ සන්නාම වර්ගීකරණයකි. 2019 වසරේදී එම සමාගම ලකුණු 75.0ක් ලබා ගෙන ඇති අතර එහි සන්නාම වර්ගීකරණයද එම AA+ මට්ටමේම පවතී.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මෙහි 9 වැනි ස්ථානයේ පසුවෙයි. 2020 එය ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 77.8 කි. ඒ අනුව එම සන්නාමයේ වර්ගීකරණය AA+ වෙයි. 2019 දී සමාගම ලකුණු 74.8 ක් හිමි කරගෙන ඇති අතර එම අවස්ථාවේදීද සන්නාමයේ වර්ගීකරණ AA+ වී තිබේ.

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා ආයතනයට අනුව මේ වසරේ 10 වැනියට ශක්තිමත්ම සන්නාමය වන්නේ සිංගර් සමාගමයි. ඔවුන් 2020 වසරේදී ලකුණු 77.7ක් ලබා ගෙන ඇති අතර එය AA+ සන්නාම වර්ගීකරණයකි. 2019 වසරේදී සමාගම 69.2 ක ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන තිබූ අතර එවර සන්නාම වර්ගීකරණය AA- විය.

“සන්නාම වටිනාකම් සහ සන්නාම ශක්තිය කියන්නේ යම් සන්නාමයක සාර්ථක දක්ෂතාවන් වෙත ඉතාමත් වැදගත් වෙන මිනුම්. ශක්තිමත් සන්නාම බාහිර සාධක වෙත ඉතාමත් හොඳ ප්‍රත්‍යස්තතාවක් දක්වනවා වගේම අස්ථාවරත්වය නිසා ඇති වන තත්ත්වයන් වෙත වඩාත් හොඳින් මුහුණ දෙනවා. වඩාත් ශක්තිමත් සන්නාමයක් කියන්නේ ඔබට වඩා වැඩි වටිනාකමක් නිර්මාණය කරන්න පුළුවන් කියන එකයි.” බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ රුචි ගුණවර්ධන මහතා පවසයි.

1996 වසරේදී පිහිටවුණු මෙම බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ මූලස්ථානය එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පිහිටා තිබේ. එය මේ වනවිට ලොව පුරා ස්ථාන 20කට අධික සංඛ්‍යාවක පිහිටුවා තිබේ. ‘අලෙවිකරණය සහ මූල්‍ය අතර පවතින ඈත්වීම තවදුරටත් සමීප කරවීම’ අරමුණු කරගනිමින් මෙම ආයතනය පිහිටවූ බව පැවසෙයි. වසරකට එම ආයතනය ලොව පුරා සන්නාම 5,000කට අධික සංඛ්‍යාවක වටිනාකම් ඇගයීමට ලක් කෙරෙන බවත් සඳහන් වෙයි.

Visits: 23