විදෙස් ගනුදෙනුවක් හරහා කොමර්ෂල් බැංකුවේ රු. බිලියන 2.9ක කොටස් අලෙවි වෙයි

විදෙස් ගනුදෙනුවක් හරහා කොමර්ෂල් බැංකුවේ රු. බිලියන 2.9ක කොටස් අලෙවි වෙයි

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පස්වරු 1.00ට අවසන් වීමත් සමගින්ම රුපියල් බිලියන 3.6ක (3,684,294,785.10) සමස්ත පිරිවැටුමක් වාර්තා කිරීමට සමත් වී තිබුණි. මෙහිදී ගනුදෙනු වූ සමස්ත කොටස්  ප්‍රමාණය මිලියන 85 (85,087,859කි).

ඒ අනුව මේ සතිය තුළදී කොළඹ කොටස් වෙළෙඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන 3.5ක් පසු කිරීමට හැකියාව උදා වූ දෙවැනි අවස්ථාව බවටත් මෙය පත්ව තිබේ.

මෙලෙස අද දිනයේදී කොටස් වෙළෙඳ පොල පිරිවැටුම රුපියල් බිලියන 3.6ක ඉහළ අගයක් ගැනීමට මූලිකවම හේතු වූයේ කොමර්ෂල් බැංකුව සතු රුපියල් බිලියන 2.9ක (2,935,360,260.00)  වටිනාකමින් යුතු කොටස්හි සිදු වූ ගනුදෙනුවයි.

මෙහිදී විදේශීය සමාගමක් මගින් කොමර්ෂල් බැංකුවේ කොටස් මිලියන 58ක් (58,452,021)කොටසක වටිනාකම රුපියල් 50.10ක් ලෙස මිලදී ගැනීමක් සිදුව ඇතැයි කොටස් වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

විශේෂයෙන්ම කොවිඩ්-19 හි බලපෑමත් සමග සමාගම් සතු කොටස් මිල පහත වැටීමත්, විදේශිකයන් සිය කොටස් ඉවත් කර ගැනී‍මේ අවදානමත් සමග කොටස් වෙළෙඳ පොළ ස්ථාවරව පවත්වාගෙන යාම දැනටමත් ගැටලුවක්ව පවතින මොහොතකදී සිදුවූ මෙම ගනුදෙනුව ඉතාමත් යහපත් ප්‍රවණතාවක් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙහිදී ගනුදෙනු වූ කොමර්ෂල් බැංකුවේ කොටසක වටිනාකමද අද දිනයේදී රුපියල් 5යි ශත 30කින් පහත වැටී තිබීමත් විශේෂත්වයකි. ඊයේ දිනයේදී ගනුදෙනු අත්හිටුවන විට එහි කොටස අගය රුපියල් 55.40ක් වූ අතර අද ගනුදෙනු අවසන් වනවිට එය රුපියල් 50.10ක් ලෙස  -9.57% කින් අවප්‍රමාණය වී තිබේ.

මේ අතර, දිනයේ ගනුදෙනු අවසන් වන විට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 4,393.54ක් බවට පත්ව තිබූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 26.29 ක් එනම් 0.60%ක ඉහළ යාමක් විය. එහෙත් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 1,720.38ක් බවට පත්ව තිබූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 8.77 ක් එනම් 0.51%ක පහළ යාමක් විය.

Visits: 23