ඒෂන ද සිල්වා NDB සභාපති පුටුවට

ඒෂන ද සිල්වා NDB සභාපති පුටුවට

එස්නා සමාගම් සමූහයේ සභාපතිවරයා වන රුවන්පුර ඒෂන උවින්ද්‍ර ද සිල්වා මහතා NDBබැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි එම බැංකුව නිවේදනයක් මගින් සඳහන් කරයි.

වසරක කාලයක් NDB බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාවන් රත්නායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිස් වූ ධුරය සඳහා ඒෂන ද සිල්වා මහතා මෙලෙස පත්වීම් ලැබ තිබේ.

එස්නා සමාගම් සමූහයට අමතරව ඒ මහතා හැන්ජින් ෂිපිං ලංකා, ෂර්මන් ලොජිස්ටික් (පෞද්) සමාගම, ස්ටාර් ලෙෂර් (පෞද්) සමාගම සහ එස්නා හොලිඩේස් (පෞද්) සමාගම්හි සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. එසේම Interocrean සමූහයේ, ෂර්මන් පුත්‍ර සමූහයේ සහ ෆෝට්‍රස් රිසෝට්ස් පීඑල්සී යන සමාගම්වල අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි.  ඒ මහතා 2011 වසරේ සිට මේ දක්වා කසකස්තානයේ කොන්සල් ධුරයද දරයි.

2008 වසරේදී පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත්වීම් ලබන ඔහු, 2012 වසරේදී එහි උප සභාපතිවරයා ලෙසත් පසුව 2016 දී එහි සභාපතිවරයා ලෙසත් පත්වීම් ලැබීය. එතෙක් වාණිජ බැංකුව සභාපතිවරයා ලෙස පත්වූ ලාබාලතම පුද්ගලයා වූයේද ඔහුය. ඒ අනුව බැංකුව තුළ වසර 9 කට ආසන්න කාලයක් සේවාව ලබා දුන් ඒෂන ද සිල්වා මහතා 2017 වසරේදී සභාපති ධුරයෙන් ඉවත් විය.

2007-2013 වසර දක්වා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇති ඒ මහතා, එම කාලසීමාවේදීම එහි විගණන කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. මීට අමතරව 2008 සිට 2013 දක්වා කාලය තුළ ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

NDB බැංකුවේ කොටස් හිමිකම් අතරින් වැඩිම ප්‍රමාණය වන 27,242,932ක් එනම් 11.7%ක කොටස්  හිමිකමක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත  හිමිය. එසේම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල වෙත එහි කොටස් 23,263,710ක් එනම් 10.00%ක් හිමිව ඇත. මීට අමතරව ශ්‍රී ලංකා රජය වෙත හිමි NDB බැංකුවේ කොටස් ප්‍රතිශතය 8.36%ක් වන අතර එම කොටස් ප්‍රමාණය 19,454,390 කි.

Visits: 12