ලංකා ප්‍රීමියර් ලීගයේ (LPL) විකාශන/ අනුග්‍රාහකත්ව කැමැත්ත විමසයි

ලංකා ප්‍රීමියර් ලීගයේ (LPL) විකාශන/ අනුග්‍රාහකත්ව කැමැත්ත විමසයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් 2012 වසරින් පසු අත්හැරදමා තිබූ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යළිත් මේ වසරේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි. මෙම තරගාවලිය මෙරට තුළ පැවැත්වෙන ඉහළ මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් බවට පත් කිරීමත්, මෙරට ක්‍රීඩා දිනපොතේ වඩාත් කැපීපෙනෙන ඉසව්වක් බවට මෙය පත් කිරීමත් සිය අරමුණ බව ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි.

ඒ අනුව, 2020 වසරේ අගෝස්තු 15 සිට සැප්තැම්බර් 04 දක්වා සංවිධානය කිරීමට නියමිත ‘ලංකා ප්‍රීමියර් ලීග්’ ජාතික විස්සයි 20 තරගාවලිය සඳහා රූපවාහිනි, ඩිජිටල් විකාශන හිමිකම්, ක්‍රීඩාංගණ අනුග්‍රාහකත්වය සහ රූපවාහිනි නිෂ්පාදන සේවා යනාදී අවස්ථාවන් සඳහා කැමැත්ත ප්‍රකාශ කරන ලෙස එම ආයතනය ආදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

මෙහිදී ඉහත සඳහන් ලෙස ජාත්‍යන්තර විකාශන අයිතිය (රූපවාහිනි, ගුවන් විදුලි විකාශන/ඩිජිටල්), ක්‍රීඩාංගණයන්හි අනුග්‍රාහක අයිතිය සහ රූපවාහිනි නිෂ්පාදක සේවා සැපයීම යනාදිය පිළිබඳ වරලත් අවස්ථාවන් සඳහා කැමැත්ත පළ කරන්නන් වෙත කැඳවීම් නිකුත් කර ඇත.

ඒ අනුව මෙම කැමැත්ත පළ කිරීමට බලාපොරොත්තු වන අයැදුම්කරුවන්ට ශක්තිමත් මූල්‍ය පසුබිමක් පෙන්නුම් කිරීමට හැකි වීම වෙනත් සුදුසුකමක් වන බවත් සඳහන් වෙයි.

2012 තරගාවලියේ ලෝගෝව

“එසේම ක්‍රීඩා තරග ජාත්‍යන්තරව විකාශනය කිරීම සහ අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් අත්දැකීම් ලබා තිබීම සහ හෝ සාර්ථක ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ අයිතිවාසිකම් වාණිජකරණය කර තිබීම, ක්‍රීඩා අලෙවිකරණ ක්ෂේත්‍රෙය් ඉහළ ජාලකරණ ධාරිතාවක් සහ ඉහළ පෙළේ ගෝලීය වෙළෙඳනාමයන් වලට ප්‍රවිශ්ඨවීම, මාධ්‍ය සහ දැන්වීම්කරණයේ නිපුණත්වය සහ ලංකා ප්‍රීමියර් ලීග් සහ ශ්‍රී ලංකා ක්‍රිකට්හි සන්නාමය ජාත්‍යන්තර ලෙස උපරිම කිරීම සහාය ලබා දීමට ඇති හැකියාවද සලකා බැලේ.” යනුවෙන් සඳහන් වෙයි.

අගෝස්තු 15 වැනිදා ආරම්භ වන තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 5ක් සම්බන්ධ කරගැනීමට නියමිතව ඇත. එහිදී එක් කණ්ඩායමකට අවම තරමින් විදෙස් ක්‍රීඩකයන් හය දෙනෙකු නියෝජනය කළ යුතුව ඇත. කණ්ඩායමක පුහුණුකරුවන් දෙදෙනකුද ඇතුළුව උපරිම සහාය කාර්යය මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමන්විත වෙයි. අදාළ පුහුණුකරුවන් ජාත්‍යන්තර අත්දැකීම්වලින් සමන්විත වුවන් විය යුතු වන අතර අවම වශයෙන් ක්‍රිකට් ලීගයක හෝ පුහුණුකරු තනතුරක් හොබවා ඇති අවලුන් විය යුතු බවත් ක්‍රිකට් ආයතය පවසයි.

මෙම සියලුම තරග කොළඹ ආර් ප්‍රේමදාස, මහනුවර පල්ලෙකැලේ, රංගිරි දඹුල්ල සහ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙයි.

කෙසේ වෙතත් නව කොරෝනා වෛරසයේ බලපෑම මෙම තරගාවලිය සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ප්‍රධානම අභියෝගයයි. එහෙත් මේ වසරේදී ඉන්දියානු ප්‍රීමිර් ලීග් තරගාවලියත් අත්හැරදමා ඇති නිසා ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට වැඩි වාසි ලබා ගැනීමේ අවස්ථාවක්ද තිබේ. එසේම පවතින ආර්ථික අර්බුදය හමුවේ අනුග්‍රාහකයන් සොයා ගැනීමද ගැටලුවක් බවට පත්වෙනු ඇත.

2008 දී ඇරඹුණු ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ආභාෂය ලබමින්, 2011 වසරේදී පළමුවරට මෙම ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් (SLPL) ලෙස මෙම තරගාවලිය ආරම්භවිමට නියමිතව තිබුණත්, එය කල්  යෑම නිසා 2012 වසරේදී පළමු තරගාවලිය පැවැත්වුණි. කෙසේ වෙතත් එය එතෙක් මෙතෙක් පැවැත්වූ එකම ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියද විය. 2013 සහ 2014 වසරවලදීද මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණත් අනුග්‍රාහකයන් නොමැතිවීම සහ සංවිධාන දුර්වලතා නිසා එය සාර්ථක කරගැනීමට නොහැකි විය.

2012 පැවැති තරගාවලියේ සංවිධායකත්වය සොමර්සෙට් එන්ටර්ටේන්මන්ට් වෙන්චර්ස් නම් සමාගමක් වෙත හිමි විය. එහිදී තරගාවලියේ දේශීය විකාශන කටයුතු කාර්ල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හරහා සිදු විය. එසේම ජාත්‍යන්තර විකාශනය යටතේ තරගාවලිය ලොව රාජ්‍යයන් 21ක් පුරා මෙම තරගාවලිය විකාශනය කිරීම සිදු විය. එසේම අන්තර්ජාලය හරහාද විනාඩි 10ක පමාවකින් පසුව තරගාවලිය විකාශනය කෙරිණි.

මෙලෙස පැවැත්වුණු 2020 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය හරහා මෙරට ආර්ථිකය වෙත ශ්‍රී ලංකා රුපියල් මිලියන 580ක ආදායමක් හිමිකරගැනීම සැලසුම විය. එසේම හෝටල් කාමර ලබාදීම හරහා තවත් රුපියල් මිලියන 130ක මුදලක්ද උපයා ගත  හැකි බව සොමර්සෙට් එන්ටර්ටේන්මන්ට් වෙන්චර්ස් සමාගම පවසා තිබුණි.

ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් සඳහා අනුග්‍රාහකත්වය සහ හවුල්කාරීත්වය විස්ඩන් ඉන්දියා සමාගම, මාර්ලෙබෝන් ක්‍රිකට් සංගමය සහ යූටියුබ් ආයතනය විසින් ලබා දී තිබේ. එසේම ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා ලිමිටඩ් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා විය.

පළමු තරගාවලිය සඳහා ඉදිරිපත් වූ කණ්ඩායම්වල හිමිකාරීත්වය වෙනුවෙන් අනුග්‍රාහකත්වය පිරිනැමීමක්ද සිදුවුණු අතර එහිදී බස්නාහිර ක්‍රිකට් ඩන්ඩී කණ්ඩායමේ හිමිකාරීත්වය සඳහා Indian Cricket Dundee Limited සමාගම ඩොලර් මිලියන 4.33ක්, කඳුරට වොරියර්ස් කණ්ඩායමට Number One Sports Consulting Private Limited සමාගම ඩොලර් මිලියන 4.98ක්, නැගෙනහිර නාගාස් කණ්ඩායමට Varun Beverages Lanka Private Limited සමාගම ඩොලර් මිලියන 3.22 ක්, රුහුණු රෝයල්ස් කණ්ඩායමට Pearl Overseas Limited සමාගම ඩොලර් මිලියන 4.6ක්, උතුර රුද්‍රාස් කණ්ඩායමට Rudra Sports Private Limited සමාගම ඩොලර් මිලියන 3.4ක්, ඌව නෙක්ස්ට් කණ්ඩායමට Success Sports Private Limited සමාගම ඩොලර් මිලියන 4.6ක් සහ වයඹ යුනයිටඩ් කණ්ඩායමට Wadhawan Holdings Private Limited සමාගම ඩොලර් මිලියන 5.02ක් යනාදී ලෙස මුදල් යොදවා තිබුණි.

Visits: 68