බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ඇගයීමෙන් ශ්‍රී ලංකාවේ මුල් පෙළේ සන්නාම 10

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ඇගයීමෙන් ශ්‍රී ලංකාවේ මුල් පෙළේ සන්නාම 10

ලෝකයේ මුල් පෙළේ ස්වාධීන සන්නාම ඇගයීම් සහ ක්‍රමෝපායික උපදේශන කටයුතු සිදු කරන ආයතනයක් වන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව වන ‘බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා’ විසින් සිදු කරන ලද 2020 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ මුල් පෙළේ සන්නාම 100 පිළිබඳ ඇගයීම පසුගියදා නිකුත් විය.

මෙවරදී මෙම සන්නාම ඇගයීම සඳහා බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රීලංකා ආයතනය කොවිඩ්-19 වසංගතයේ බලපෑම එම සන්නාම වෙත එල්ල වන ආකාරය පිළිබඳවද අවධානය යොමු කර ඇති අතර, එහිදී සමස්ත සන්නාම වටිනාකම් 9.5% කින් අවප්‍රමාණය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. එය සන්නාම සතු සමස්ත මූල්‍ය වටිනාකමින් රුපියල් බිලියන 57.4 කි. බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා ඇස්තමේන්තුව අනුව මෙම සන්නාම 100 සතු සමස්ත වටිනාකම රුපියල් බිලියන 603කි.

ඒ අනුව ජනවාරි 1 වැනිදා එම සන්නාම පැවැති වටිනාකම් පාදක කරගනිමින් මෙම වාර්තාව සකස් කරන අවස්ථාවේදී පැවැති වටිනාකම් අනුව සලකමින් මෙම ඇගයීම සිදු කර තිබේ. සුපුරුදු පරිදි මෙවරත් වටිනාම සන්නාම අතර බැංකු ක්ෂේත්‍රයේ සන්නාම වැඩි වශයෙන් දැකගත හැකිය.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාකම සන්නාම 100 අතරින් පළමු ස්ථානය මෙවරත් හිමි කරගැනීමට සමත්ව ඇත්තේ ඩයලොග් සමාගමයි. එහිදී ඔවුන් සතු වත්කම රුපියල් මිලියන 48,801ක් වන අතර, එය 2019 පැවැති රුපියල් මිලියන 54,193කට සාපේක්ෂව -10%ක අඩුවීමකි.

දෙවැනි ස්ථානය පෙර වසරේ පරිදිම ලංකා බැංකුව හිමි කරගෙන ඇති අතර, මෙවර ඔවුන්ගේ සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 47,952කි. එහෙත් 2019 දී එම වටිනාකම රුපියල් මිලියන 51,827ක් ලෙස සටහන්ව තිබූ අතර, එය -7%ක අඩුවීමකි.

“මේ වසරේදී සන්නාම පොකුරක් මේ ලැයිස්තුවේ මුල් ස්ථාන වෙත පත්වීමේ තරගයකට යෙදී තිබුණා. එතැනදී බොහෝ සන්නාමවල වටිනාකම් අඩු වෙලා. අංක එක ස්ථානයට පත්වූ ඩයලොග් සමාගමත් දෙවැනි තැන පත් වූ ලංකා බැංකුවත් අතර වෙනත රුපියයල් බිලියන 0.8ක් පමණයි. ඒ වගේම ඩයලොග් සහ තෙවැනි ස්ථානයට පත්වූ මහජන බැංකුවත් අතර වෙනස රුපියල් බිලියන 2.6ක් පමණයි.” බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා පවසයි.

ඒ අනුව තෙවැනි ස්ථානයට පත්ව ඇති මහජන බැංකුව හිමි කරගෙන ඇති වටිනාකම රුපියල් මිලියන 46,161 කි. 2019 වසරේදී එම වටිනාකම රුපියල් මිලියන 45,508ක් ලෙස සටහන්ව තිබූ අතර එය +1% ක වර්ධනයකි.

සිව්වැනි ස්ථානය පෙර වසරේ පරිදිම කොමර්ෂල් බැංකුව හිමි කරගෙන ඇති අතර එම සන්නාමය සතු වටිනාකම රුපියල්  මිලියන 44,009 කි. 2019 දී එය රුපියල් මිලියන 37,269ක්ව පැවැති අතර කොමර්ෂල් බැංකුව සිය +18% කින් සිය සන්නාමයේ වටිනාකම වැඩි කරගැනීමට සමත්ව සිටියි.

පස්වැනි ස්ථානයට පත්ව ඇත්තේ 2019 වසරේදී 7 වැනි ස්ථානයේ සිටි සම්පත් බැංකුවයි. මෙවර සම්පත් බැංකුවේ සන්නාම වටිනාකම රුපියල් මිලියන 28,645ක් ලෙස සටහන්ව ඇති අතර පසුගිය වසරේදී එය මිලියන 25,847ක් විය. ඒ අනුව සන්නාම වටිනාකම ඉහළ යාම +11%කි.

“සම්පත් බැංකුව මෙවර පස්වැනි ස්ථානයට පත්වීම වැදගත් අවස්ථාවක්. ඔවුන් අපගේ මේ ලැයිස්තුවේ ඉහළම ස්ථානයකට පත්වූ පළමු අවස්ථාව මෙයයි. අප දිගු කලක් පුරාම සම්පත් බැංකුවේ මේ නැගී සිටීම ගැන පුරෝකතන සිදු කළා. පසුගිය වසරේදී අප බලාපොරොත්තු වුණා සම්පත් බැංකුවට තමන්ගේ සන්නාමය මෙම ලැයිස්තුවේ වඩාත් ඉහළට රැගෙන යන්න හැකියාව ලැබේවි කියලා.” බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා පවසයි.

කෙසේ වෙතත් 2019 වසරේදී 5 වැනි ස්ථානයේ තිබූ ජාතික  ඉතිරි කිරීමේ බැංකුව මේ වසරේදී 6 වැනි ස්ථානය දක්වා පසු බැස තිබේ. ඒ අනුව මේ වසරේ ඔවුන්ගේ සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 28,122ක් ලෙස සටහන්ව ඇති අතර එය 2019 දී රුපියල් මිලියන 34,771 කි.  එහිදී සන්නාම වටිනාකම -19%කින් පහත වැටී තිබේ.

2019 වසරේ හයවැනි ස්ථානයේ තිබූ හැටන් නැෂනල් බැංකුව මේ වසරේදී 7 වැනි ස්ථානයට පසුබැස තිබේ. එහිදී එම සන්නාමය හිමිකරගෙන ඇති වටිනාකම රුපියල් මිලියන 23,148ක් වන අතර 2019 දී හිමි කරගෙන තිබූ වටිනාකම 27,511 කි. ඒ අනුව සන්නාමයේ වටිනාකම අඩුවීමේ ප්‍රතිශතය -16% කි.

එසේම ලයන් බියර් සන්නාමය මෙවර 8 වැනි ස්ථානයට පත්ව ඇති අතර ඔවුන් පසුගිය වසරේ 9 වැනි ස්ථානයේ පසුවිය. එහිදී එම සන්නාමය සතු වටිනානකම රුපියල් මිලියන 21,621ක් ලෙස සටහනන්ව තිබේ. පසුගිය වසරේදී එය රුපියල් මිලියන 21,462ක් විය. මෙය +1%ක ඉහළයාමකි.

පසුගිය වසරේ 8 වැනි ස්ථානයේ තිබූ නෙස්ලේ සන්නාමය මෙවර 9 වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ. එහිදී එම සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 21,442ක් ලෙස සටහන්ව ඇති අතර 2019 දී එය රුපියල් මිලියන 22,166ක් විය. ඒ අනුව එය -‍3%ක වටිනාකම් අඩුවීමකි.

2020 වසරේ වටිනාකම සන්නාම අතර 10 වැනි ස්ථානයේ පසුවන කීල්ස් සන්නාමය පසුගිය වසරේ තිබූ 12 වැනි ස්ථානයේ සිට ස්ථාන දෙකක් ඉදිරියට පැමිනීමට සමත්ව තිබේ. එහිදී මේ වසරේ එම සන්නාමය සතු වටිනාකම රුපියල්  මිලියන 18,490ක් වන අතර 2019 දී එය රුපියල් මිලියන 17,506 ක් විය. ඒ අනුව එය +6%ක ඉහළ  යාමකි. එසේම 11 වැනි ස්ථානයේ පසුවන්නේ කාර්ගිල්ස් ෆුඩ් සිටි සන්නාමයයි.

“මෙවරදී බැංකු වලට අමතර තවත් නව කාණ්ඩයක් මේ ලැයිස්තුවේ ඉහළට පැමිණෙමින් සිටින බව අපිට පෙනෙනවා. එතැනදී කාර්ගිල්ස් ෆුඩ් සිටි සහ කීල්ස් යන සුපිරි වෙළෙඳ සැල් සන්නාම ප්‍රධානයි. පළමුවැනි වරට තමයි  කීල්ස් සමාගම මේ මුල් 10 දෙනා අතරට පැමිණ තිබෙන්නේ. මේ සන්නාම ඉදිරියේදී අපගේ සන්නාම ලැයිස්තුවේ තවදුරටත් ඉහළටම පැමිණේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.” බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා පවසයි.

1996 වසරේදී පිහිටවුණු මෙම බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ මූලස්ථානය එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පිහිටා තිබේ. එය මේ වනවිට ලොව පුරා ස්ථාන 20කට අධික සංඛ්‍යාවක පිහිටුවා තිබේ. ‘අලෙවිකරණය සහ මූල්‍ය අතර පවතින ඈත්වීම තවදුරටත් සමීප කරවීම’ අරමුණු කරගනිමින් මෙම ආයතනය පිහිටවූ බව පැවසෙයි. වසරකට එම ආයතනය ලොව පුරා සන්නාම 5,000කට අධික සංඛ්‍යාවක වටිනාකම් ඇගයීමට ලක් කෙරෙන බවත් සඳහන් වෙයි.

Visits: 16