ආනයන සීමාකිරීම් නිසා DIMO හි මර්සිඩීස්, ක්‍රයිස්ලර් සහ ජීප් අලෙවියට බලපෑම්

ආනයන සීමාකිරීම් නිසා DIMO හි මර්සිඩීස්, ක්‍රයිස්ලර් සහ ජීප් අලෙවියට බලපෑම්

කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තියත් සමගම මෙරට විනිමය අනුපාත ආරක්ෂා කරගැනීම සඳහා රජය විසින් අප්‍රේල් මාසය මුලදී පනවන ලද ආනයන සීමා කිරීම් සිය සමාගමේ මෙහෙයුම් වෙත දැඩි බලපෑම් එල්ල කර ඇතැයි ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරින් පීඑල්සී (DIMO – Diesel & Motor Engineering PLC) සමාගම සඳහන් කරයි.

කොවිඩ්19 වසංගතය හේතුවෙන් හට ගෙන ඇති ආර්ථික අර්බුදය නිසා සිය ව්‍යාපාර වෙත ඇතිව තිබෙන බලපෑම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ සිය ලැයිස්තුගත සමාගම් වෙතින් සිදු කර ඇති ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරින් පීඑල්සී සමාගම කොටස් වෙළෙඳ පොළ වෙත ලිපියක් යොමු කරමින් මේ කරුණු දන්වා තිබේ.

“අප ආනයනය කෙරෙන නිෂ්පාදන අතර පවතින මෝටර් රථ සහ ටයර සඳහා සීමා පැණවීමට රජය තීරණය කර තිබෙනවා. මෙය අපගේ මර්සිඩීස්, ජීප් සහ ක්‍රයිස්ලර් යන මාදිලියේ රථ සහ ටාටා මෝටර් රථ (වාණිජ රථ නොවන) අලෙවිය වෙත මෙන්ම ඒවායේ ටයර අලෙවිය වෙතත් බලපෑම් එල්ල කරලා. මේ සීමා කිරීම් ලබන ජූනි මාසයේ 18 වැනිදා දක්වාම ක්‍රියාත්මකයි.” සමාගම පවසයි.

එසේම පසුගිය මාර්තු මාසය මැදදී මෙරට තුළ පැනවුණු ඇඳිරිනීති ඇතුළු ලොක්ඩවුන් සීමා හේතුවෙන්ද දේශීයව සිදු කරන සිය වෙළෙඳාම් යම් තරමකින් අඩපණ වූ බවත්, බොහෝ පාරිභෝගිකයන් අවසන් මොහොතේදී සිය මිලදී ගැනීම් කල් දැමීමට තීරණය කළ බවත් ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරින් පීඑල්සී සමාගම මෙහිදී සඳහන් කර සිටියි.

“මේ කාරණාව 2020 මාර්තු මාසයේදී අපගේ මෙහෙයුම් කටයුතු වෙත ඍණාත්මක බලපෑම් එල්ල කර තිබෙනවා. ඒ වගේම එය මෙම මූල්‍ය වර්ෂයේ ප්‍රතිඵල වෙතත් එය හේතුවක් වී තිබෙනවා.” සමාගම පවසයි.

මේ අතර, ලොව පුරා ඇති වුණු සීමා කිරීම් හේතුවෙන් මියන්මාරය, මාලදිවයින සහ උගන්ඩා යන රාජ්‍යයන් වෙත සිදු කරන සිය මෙහෙයුම් වෙත බලපෑම් එල්ලවී ඇතැයි ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරින් පීඑල්සී සමාගම කොටස් වෙළෙඳපොළ වෙත සඳහන් කරයි. ඒ අනුව මෙම රාජ්‍යයන් යළිත් යථා තත්ත්වයට පත්වූ වහාම සිය මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් සමාගම පවසා සිටියි.

DIMO සමාගම මේ වනවිට මෝටර් රථ අලෙවිය, මොටර් රථ අලෙවියෙන් පසු ආරක්ෂාව, සිල්ලර, ඉදිකිරීම්, යාන්ත්‍රික මෙහෙයුම්, කෘෂි කාර්මික සහ ජෛව වෛද්‍ය, විදුලි සහ විදුලියාන්ත්‍රික ඉංජිනේරු යන ව්‍යපාර ක්ෂේත්‍රයන් පුරා ව්‍යාප්තව පවතී.

ප්‍රධාන කාර්යාලයට අමතරව කොළඹ/ගම්පහ දිස්ත්‍රික්ක සහ දිවයින පුරාම විහිදුනු ශාඛා ජාලය හරහා සිය මෙහෙයුම් දියත් කිරීමට සමාගම කටයුතු යොදා ඇත. එසේම මියන්මාරය, මාලදිවයින සහ උගන්ඩාව තුළත් සමාගම සිය මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට සමත්ව සිටියි.

එහෙත් මේ මොහොත වන විට මෙකී ක්ෂේත්‍ර සියල්ල හරහාම ලැබෙන ආදායම වෙනදාට සාපේක්ෂව ඉතාමත් සුළු අගයක් ගෙන ඇතැයිද සමාගම සඳහන් කරයි.

“පසුගිය මූල්‍ය වර්ෂයේ අවසන් කාර්තුවේදී ඇති වුණු මෙම වසංගත තත්ත්වයේ බලපෑම නිසා මේ මූල්‍ය වර්ෂයේ කාර්තුවේ ප්‍රතිඵල වෙතත් බලපෑම් එල්ල වුණා. ඒත් මේ තත්ත්වය මේ මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේදී යම් තරමකින් හෝ යථාතත්වයට පත්වේවි කියලා අපේ බලාපොරොත්තුවක් තිබෙනවා.”

විශේෂයෙන්ම දැනට පවතින තොරතුරුවලට අනුව සැපයුම් සේවා දෙවැනි කාර්තුව තුළදී යථාතත්ත්වයට පත් වෙනු ඇති බවටත්, දැනට පවතින සීමා කිරීම් ක්‍රමයෙන් ලිහිල්වීමක් සිදු වී ව්‍යපාරික කටයුතු යළි යථාවත් වීමක් පිළිබඳව බලාපොරොත්තු වන බවත් සමාගම පවසයි.

ඒ අනුව සිය සමාගමේ මෙහෙයුම් දෙවැනි කාර්තුවේ අවසන් කාලය වනවිට යළිත් සාමාන්‍ය මට්ටමට පත්වීමක් අපේක්ෂා කරන බව ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරින් පීඑල්සී සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මෙන්ම සිය කොටස්හිමිකරුවන් වෙතද මෙම ලිපිය හරහා දන්වා තිබේ.

Visits: 36