සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී, වටවල ප්ලාන්ටේෂන් මිලදී ගත්තේ මෙහෙමයි

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී, වටවල ප්ලාන්ටේෂන් මිලදී ගත්තේ මෙහෙමයි

දින 50කට ආසන්න කාලයක් වසා දමා තිබූ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු නැවත ආරම්භ කර දෙවැනි දිනය වූ ඊයේ (මැයි 12දා) දිනයේ ගනුදෙනු අවසානයේදී රුපියල් බිලියන 3.6කට අධික පිරිවැටුමක් වාර්තා විය. එහිදී එක් තනි සමාගමක් පමණක් සිදුකළ කොටස් ගනුදෙනුවක් හරහා මෙම අවස්ථාව උදා වීමත් විශේෂත්වයක් ගැනුණි.

කොටස් වෙළෙඳපොළ වාර්තාවලට අනුව මෙරට සුප්‍රසිද්ධ වැවිලි සමාගමක් වන වටවල ප්ලාන්ටේෂන් සමාගමේ කොටස් මිලියන 150කට අධික සංඛ්‍යාවක් (150,937,043) ක් එනම් එම සමාගමේ සමස්ත කොටස් ප්‍රතිශතයෙන් 74.24%ක් මිලදී ගැනීමට සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගම ක්‍රියා කිරීම ඊට හේතු වී තිබේ. එහිදී කොටසක් රුපියල් 20.00 බැගින් අලෙවි වී ඇත.

වටවල ප්ලාන්ටේෂන් පීඑල්සී සමාගම අයත් එස්ටේට් මැනේජ්මන්ට් සර්විසස් (පෞද්) සමාගම මගින් මෙම කොටස් ප්‍රමාණය විකුණා දමා ඇති අතර, එහි ගනුදෙනුකරුවා වී ඇත්තේ සන්ෂයින් විල්මාර් (පෞද්) සමාගමයි. ඒ අනුව එම තනි ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 3.01 කි.

සුප්‍රසිද්ධ හෙල්ත්ගාර්ඩ් ඖෂධශාලා ජාලයේ හිමිකරුවා වන්නේද සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමයි. ඔවුන් පිරමිඩ් විල්මාර් සමාගමත් සමගින් ඇති කරගත් එකඟතාවකට අනුව සන්ෂයින් විල්මාර් සමාගම පිහිටුවා ඇති අතර ඒ හරහා ‘ෆෝර්චූන්’ සන්නාමය යටතේ පාම් ඔයිල් නිෂ්පාදන මෙන්ම ‘මෙඩෝලී’ සන්නාමය යටතේ මාජරීන් නිෂ්පාදනද මෙරට වෙළෙඳ පොළට ඉදිරිපත් කරයි.

එසේම වටවල ප්ලාන්ටේෂන් පීඑල්සී සමාගමද සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම යටතේ පැවැති තවත් එක් සමාගමක් වන අතර වටවල තේ, සෙස්ටා මෙන්ම රන් කහට යන සන්නාම ඊට අයත්ව තිබුණි. මීට අමතරව Diebeta plus, Mama plus, Pedia plus, Enlive plus යන පෝෂණීය කිරි පිටි සන්නාමවල හිමිකරුවා වූයේද සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගමයි.

මෙම වටවල ප්ලාන්ටේෂන් පීඑල්සී සමාගම සතු වටවල වතුයාය අද වන විට මෙරට විශාලතම කටුපොල් (පාම් ගස්) වගාකරුවා ලෙසින්ද සැලකෙයි. එසේම වටවල සමාගම සතුව කිරිගොවිපොළක්ද එහි පිහිටා ඇති අතර, එහි කිරි ගවයන් 1,200කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් පැවසෙයි. ඔවුන් හරහා දෛනිකව ලැබෙන කිරි නිෂ්පාදනය ලීටර් 13,000 කි.

ඊයේ දිනයේ සිදුවූ මෙම ගනුදෙනුවත් සමගම වටවල ප්ලාන්ටේෂන් පීඑල්සීහි වැඩි කොටස් හිමිකාරීත්වය ලබා ගැනීමට සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමත්ව තිබේ. මෙම ගනුදෙනුව කොටස් වෙළෙඳ පොළ තුළ ඊයේ දිනයේ සිතුවූ සමස්ත පිරිවැටුමෙන් 82.8% ක ප්‍රතිශතයකට හිමිකම් කියා තිබේ.

Visits: 62