ශ්‍රී ලංකාව මූල්‍ය දුර්වලතා මඟහැරවීම ගැන යුරෝපා කොමිසමෙන් සහතිකයක්

ශ්‍රී ලංකාව මූල්‍ය දුර්වලතා මඟහැරවීම ගැන යුරෝපා කොමිසමෙන් සහතිකයක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා මඟහැරවීම සම්බන්දයෙන් ශ්‍රී ලංකාව දක්වා ඇති සාර්ථකත්වය අනුව, ඊට අදාළව යුරෝපා කොමිසමේ ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශ්වයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර ඇතැයි මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සඳහන් කරයි.

ඊට අදාළ ප්‍රතිපත්තිමය විස්තීරණ ක්‍රියාකාරී සැලැසුම සම්මත කිරීම සඳහා ඉදිරියේදී යුරෝපා කවුන්සිලයට සහ යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මෙහිදී යුරෝපා කොමිසම මගින් ප්‍රකාශයට පත් කෙරුණු සම්පූර්ණ ප්‍රකාශයhttps://ec.europa.eu/commission/presscorner/detail/en/ip_20_800 යන වෙබ් ලිපිනය හරහා ලබා ගත හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙහිදී ශ්‍රී ලංකාවට අමතරව බොස්නියා හර්සගොවිනියාව, ඉතියෝපියාව, ගුයනාව, ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජය, ටියුනීසියාව යන රටවල් මෙම ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ.

යුරෝපා කොමිසම විසින් 2018 වසරේ පෙබරවාරි මාසයේදී මෙලෙස ශ්‍රී ලංකාව ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශ්වයේ රටක් ලෙස ලැයිස්තුගත කරන ලදි. 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය කාර්ය සාධක බලකාය මගින් ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සහිත රටක් ලෙස ‘අළු ලේඛන’ ගත කිරීම ඊට මූලික හේතුව විය.

ඒ අනුව මෙම උපායමාර්ගික දුර්වලතා මඟහරවා ගැනීම සඳහා කාලරාමුවකට යටත්වූ ක්‍රියාකාරී සැලැස්මක් ශ්‍රී ලංකාවට ලබා දීමටද මූල්‍ය කාර්ය සාධක බලකාය පියවර ගෙන තිබේ. එහිදී මූල්‍ය බුද්ධි ඒකකය අනෙකුත් පාර්ශ්වකරුවන් හා එක්ව එම ක්‍රියාකාරී සැලැස්ම සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට සමත් වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස 2019 ඔක්තෝබර් 13 සිට 18 දක්වා පැරිසියේ පැවැති මූල්‍ය කාර්ය සාධක බලකායේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව මෙම ‘අළු ලේඛනයෙන්ඉවත්වීමත් සිදු විය.

මූල්‍ය කාර්ය සාධක බලකාය සහ යුරෝපා සංගමයමගින් ඉහත කී ලේඛනයන්ගෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමත් සමග පසුගිය දෙවසර තුළදී එකී ලේඛනගත කිරීම තුළින් ඇති වූ අහිතකර බලපෑම් පහව යන අතරම, ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මූල්‍ය සාධනීයත්වය තවදුරටත් ධනාත්මක ලෙස ශක්තිමත් වෙනු ඇතැයිද බලාපොරොත්තු වන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 32