ඩිලන්ත මාලගමුව 100% ලංකාවේ නිෂ්පාදිත ‘ඩිලන්ගෝ’ මෝටර් රථ හඳුන්වාදීමට යයි

ඩිලන්ත මාලගමුව 100% ලංකාවේ නිෂ්පාදිත ‘ඩිලන්ගෝ’ මෝටර් රථ හඳුන්වාදීමට යයි

සියයට සීයක්ම ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කෙරෙන පෙට්‍රල් සහ විදුලි මෝටර් රථයක මූලාකෘතියක් ලබන වසරේදී පමණ එළිදක්වන්නට හැකියාව ලැබෙනු ඇතැයි මෙරටින් බිහිවූ ජාත්‍යන්තර මට්ටමේ මෝටර් රථ ධාවකයෙකු වන ඩිලන්ත මාලගමුව මහතා තමන්ට පැවසූ බව “ඩේලිමිරර්” පුවත්පත අනාවරණය කරයි.

ඔහු පුවත්පත වෙත සඳහන් කර ඇති ආකාරයට දැනටමත් මෙම මෝටර් රථය නිෂ්පාදනය සඳහා වන සියලු සැලසුම් සකස් කර ඇතැයිද පැවසෙයි. ඒ අනුව “ඩිලන්ගෝ” යන සන්නාමයෙන් යුත් එම රථවල මූලාකෘති ලබන වසරේදී එළිදැක්වීමටද ඔහු බලාපොරොත්තුව සිටියි.

“දැනටමත් මෝටර් රථ සන්නාම කිහිපයක්ම අපේ රටේදී එකලස් කිරීමට ලක් වෙනවා. ඒත් මම  මෙතැනදී  සැලසුම් කර තිබෙන්නේ සියයට සීයක්ම දේශීයව නිෂ්පාදනය කළ මෝටර් රථයක්” මාලගමුව මහතා පවසා ඇත.

“මට වුවමනාවක් නැහැ මගේ මේ මෝටර් රථ මාදිලි ලෝක වෙළෙඳ පොළට අලෙවි කරන්න. එහෙත් මේ මෝටර් රථ යම් සාධාරණ මිලකට දේශීය වෙළෙඳ පොළේ විකුණන්න පුළුවන් වුණොත්, එය රටේ මධ්‍යම පන්තිය විසින් පිළිගනීවි කියලා මම හිතනවා.”

මෙහිදී මෝටර් රථයක ඇස්තමේන්තුගත මිල රුපියල් ලක්ෂ 10ත් රුපියල් ලක්ෂ 12ත් අතර වන බවද ඔහු පුවත්පත වෙත පවසා ඇත. එසේම මෙම රථ මැනුවල්, ස්වයංක්‍රීය සහ සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මාදිලි ලෙස හඳුන්වාදීමටත් සැලසුම වී තිබේ.

“ආසන හතරකින් යුත්, එන්ජින් ධාරිතාව 1,000ක් වන පෙට්‍රල් සහ විදුලි මෝටර් රථ දැනටමත් නිර්මාණය කර අවසන්. ඒ වගේම මේ වාහන නිෂ්පාදනය කරන කර්මාන්තශාලාව ඉදිකරන ස්ථානයක් දැනටමත් තීරණය වෙලයි තියෙන්නේ.” ඩිලන්ත මාලගමුව මහතා ඩේලිමිරර් පුවත්පත වෙත පවසා ඇත.

“කොහොම වුණත් මේ රථවල එන්ජින් සහ ගියර් පෙට්ටිවල නිෂ්පාදන වියදම අනෙකුත් කොටස් සමග ගනිද්දී වඩාත් ඉහළ නිසා ඒවා ආනයනය කරන්න සිදු වෙනවා. දැනටමත් ගුණාත්මකබවින් ඉහළ මෙම මෝටර් රථ එන්ජින් සහ ගියර් පෙට්ටි ජපානයෙන්, චීනයෙන් හෝ කොරියාවෙන් වගකීමක් සහිතව රැගෙන එන්න තීරණය කෙරිලයි තියෙන්නේ. මේ කොටස් හැර මෝටර් රථයේ චැසි, ආසන, විදුලි රැහැන් ඇතුළුව අනෙකුත් කොටස් සියල්ලම දේශීයව නිෂ්පාදනය කරන්න කටයුතු කරනවා.” ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දැනටමත් රට තුළ සියයට 100ක්ම විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ නිපදවීමට හැකි තාක්ෂණයක් පවතින බවත්, තමන්  ඉදිරිපත් කරන මෙම නව රථ මාදිලියේ මූලාකෘතිය ලබන වසරේදී එළිදැක්වීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඩිලන්ත මාලගමුව මහතා විශ්වාසය පළ කරයි.

මෙම මෝටර් රථ නිෂ්පාදනය සඳහා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, තාක්ෂණික විශේෂඥයන් සහ මෙරට මෙන්ම විදේශීය හිතවතුන් සහ සහයෝගය දක්වන්නන් විශාල පිරිසකගේ දායකත්වය ලැබෙන බවත් ඔහු පවසා සිටියි.

එසේම ඉදිරියේදී මෙම මෝටර් රථ නිෂ්පාදන කටයුතු පිළිබඳ සැලසුම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත පිලිගැන්වෙන බවද ඩිලන්ත මාලගමුව මහතා ඩේලිමිරර් පුවත්පත වෙත වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 745