Fitch Ratings මගින් DSI සමූහය Positive සිට Stable මට්ටමට සංශෝධනය කරයි

Fitch Ratings මගින් DSI සමූහය Positive සිට Stable මට්ටමට සංශෝධනය කරයි

පාවහන් සහ ටයර් නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛතම සමාගමක් වන DSI සැම්සන් සමූහය (DSI Samson Group (Private) Limited) සඳහා ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන Fitch Ratings මගින් මෙතෙක් ලබා දී තිබූ ධනාත්මක (Positive) ණය වර්ගීකරණ මට්ටම ස්ථාවර (Stable) මට්ටමක් දක්වා සංශෝධනය කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව සමාගමේ දිගුකාලීන ණය වර්ගීකරණය BBB(lka) ලෙස සහතික කරණ බව Fitch Ratings ආයතනය සඳහන් කරයි.

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා උද්ගතව පවතින ආර්ථික මන්දගාමීත්වය DSI සැම්සන් සමූහයේ සිල්ලර වෙළෙඳාමට සහ නිෂ්පාදන මෙහෙයුම් වෙත බලපෑම් එල්ල කිරීම හේතුවෙන් ඉදිරි මාස 12ත් 18ත් අතර කාලයේදී සමාගමේ මූල්‍ය තත්ත්වය වෙත ඇති වන අවදානමත් සමගම එහි ණය වර්ගීකරණය ඉහළ දැමීමට ඇති නොහැකියාව මේ සඳහා හේතු වී තිබෙන බවද එම ආයතනය සඳහන් කරයි.

Fitch Ratings ආයතනය ඇස්තමේන්තුගත කරන ආකාරයට 2020 මූල්‍ය වර්ෂය වන විට DSI සැම්සන් සමූහය සතු මුදල් වත්කම රුපියල් මිලින 800කට ආසන්න වෙයි. එසේම තවත් රුපියල් බිලියන 6කට ආසන්න වත්කමක්ද සමාගම සතුව පවතී. කෙසේ වෙතත් ඉදිරි මාස 12ක කාලයකදී එම සමූහය සතු රුපියල් බිලියන 10ක ණය කල්පිරීමක්ද සිදුවන බවත් Fitch Ratings ආයතනය පවසයි.

ඒ අතරින්ද රුපියල් බිලියන 9ක මුදලක් දේශීය බැංකු හරහා ලබා ගත් කාරක ප්‍රාග්ධන ණය පහසුකම් වන බවත්, එම බැංකු මෙම අවස්ථාවේදී DSI සැම්සන් සමූහය වෙත සිය සහාය ලබා දෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් Fitch Ratings ආයතනය සඳහන් කර සිටියි. කෙසේ වෙතත් සමූහයේ ද්‍රවශීලතා අවස්ථාවන් තවදුරටත් දැඩිවුවහොත් ණය වර්ගීකරණය ඍණ දක්වා පහත හෙළන බවද Fitch Ratings ආයතනය මෙහිදී පවසා ඇත.

“පෙර නොවූ විරූ තත්ත්වයක් මත ගෝලීය සහ දේශීය ආර්ථික ක්‍රියාකාරකම්හි මන්දගාමීත්වයත් සමග DSI සැම්සන් සමූහයේ 2021 මූල්‍ය වර්ෂය සඳහා වන ආදායම 20%කින් අඩුවේවි. එහිදී ටයර් වෙළෙඳාමට වඩා පාවහන් වෙළෙඳාම යම් ආරක්ෂිත ඉල්ලුමක් ඇති කරගනීවි. විශේෂයෙන්ම මෙතෙක් පැවැති සමාජ දුරස්තකරණ සීමා මැයි මාසයේ සිට ලිහිල් කිරීමත්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කටයුතු යළිත් අර්ධවශයෙන් හෝ විවෘත කිරීමත් DSI සැම්සන් සමූහයේ පාවහන් වෙළෙඳාමට යහපත් වෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

අද වනවිට මෙරට පාවහන් සහ ටයර් වෙළෙඳ පොළේ ප්‍රමුඛතම ස්ථානයක් දිනා ගැනීමට DSI සැම්සන් සමූහය සමත්ව සිටියි. ඒ අනුව 2019 මූල්‍ය වර්ෂය තුළදී පාපැදි, යතුරු පැදි සහ ත්‍රීවීලර් ටයර ක්ෂේත්‍රය තුළ 70%ක වෙළෙඳ පොළ කොටසක්ද, පාවහන් ක්ෂේත්‍රය තුළ 28% වෙළෙඳ පොළ කොටසක්ද DSI සැම්සන් සමූහය හිමි කරගෙන ඇත. විශේෂයෙන්ම එම සමූහය සතු දිවයින පුරා පිහිටි 200 කට අධික සිල්ලර අලෙවිසැල් ජාලය මේ සඳහා මූලිකම හේතුව වී තිබේ.

ඒ අනුව සමාගම දැනට හිමකරගෙන තිබෙන මෙම තත්ත්වය වෙළෙඳ පොළ තුළ ප්‍රතිසාධනය වීමට හේතුවක් වෙනු ඇතැයිද Fitch Ratings පවසයි. කෙසේ වෙතත් තවදුරටත් දේශීය පාවහන් කර්මාන්තය තුළ පවතින තරගකාරීත්වය DSI සැම්සන් සමූහය වෙත ප්‍රධාන අවදානමක් බවත් එම ආයතනය මෙහිදී පෙන්වා දෙයි.

Visits: 123