විජය මළලසේකර වසර 20කට පසු බෝගල ග්‍රැෆයිට් සභාපති ධුරයට සමුදෙයි

විජය මළලසේකර වසර 20කට පසු බෝගල ග්‍රැෆයිට් සභාපති ධුරයට සමුදෙයි

බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ සභාපතිවරයා ලෙස වසර 20ක කාලයක් කටයුතු කළ විජය ප්‍රසන්න මළලසේකර මහතා පසුගිය අප්‍රේල් 04 වැනිදා එම ධුරයෙන් ඉවත් වූ බව බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී සමාගම පවසයි.

වෘත්තියෙන් නීතීඥයෙකු වන මළලසේකර මහතා 2000 වසරේදී බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස පත්වී තිබේ. එසේම ඔහු කාර්සන් කුම්බර්බැච් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ 1990 සුව සැරිය පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.

පසුගිය අප්‍රේල් 04 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමට සමගාමීව ඔහු ධුරයෙන් සමුගැනීමට නියමිතව තිබුණත්, කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා එම මහා සභා රැස්වීම කල්දැමීමට සිදුවුණු බවද සමාගම කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා තිබේ. එහෙත් මෙම ඉවත්වීම එදින සිට බලාත්මක වන පරිදි නිවේදනය කෙරී ඇත.

සිය ධුරයෙන් ඉවත් වන අවස්ථාව වනවිට මළලසේකර මහතා සතුව බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී සමාගමේ කිසිදු කොටස් හිමිකමක් නොතිබූ  බවද එම සමාගම දන්වා සිටියි.

මළලසේකර මහතාට අමතරව බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සීහි විධායක නොවන අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන ජේ.සී.පී ජයසිංහ මහ රොජර් පී. මිලර් යන මහත්වරුන්ද සිය ධුරවලින් ඉවත් වී තිබේ.

විජය ප්‍රසන්න මළලසේකර මහතා මෙරට සුප්‍රසිද්ධ මළලසේකර ශබ්දකෝෂයේ නිර්මාතෘවරයා වන මහාචාර්ය ගුණපාල පියසේන මළලසේකර මහතාගේ බාල පුත්‍රයාද වෙයි. කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේදී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඒ මහතා වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය වෙත ඇතුළත්ව ඇත. මෙරටට පැමිණීමෙන් අනතුරුව ඔහු ලයන් බියර් සමාගම හිමි කාර්සන් කුම්බර්බැච් සහ සමාගමේ මෙන්ම බ්‍රවුන් සහ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුවද සිට ඇත. එසේම ඒ මහතා කලක් ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයේ අන්තර්වාර කමිටු සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී සමාගමේ සභාපති ධුරයට අමතරව ඒෂියන් කොටන් මිල්ස් සමාගමේද ඔහු සභාපති ධුරය දරා තිබේ. අද ඔහු මළලසේකර පවුල විසින් පිහිටුවා ඇති මළලසේකර පදනමේ සභාපතිවරයාද වෙයි.

Visits: 194