ආර්ථිකය ක්‍රියාවලියේ දායකත්වයට මහ බැංකු ප්‍රතිපත්ති පොළී අනුපාතික තවත් පහළට

ආර්ථිකය ක්‍රියාවලියේ දායකත්වයට මහ බැංකු ප්‍රතිපත්ති පොළී අනුපාතික තවත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අද (2020 මැයි 06) දිනයේදී පවත්වන ලද විශේෂ සාකච්ඡාවකදී ගත් තීරණයකට අනුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාතික පදනම් අංක 50කින් පහත හෙළීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2020 මැයි 06 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 6.00%ක් ලෙස පැවැති නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 5.50% දක්වාත්, 7.00% ක් ලෙස පැවැති නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 6.50% දක්වාත් පහළ හෙළීමට මෙහිදී පියවර ගෙන තිබේ.

“කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා ආර්ථිකය වෙත ඇති වුණු දරුණු බලපෑම හමුවේ ආර්ථික ක්‍රියාකාරකම් වෙත ලබා දිය යුතු සහාය සලකා බලා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙනවා. මේ තීරණයත් සමගින්ම මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතිකයන් 2020  වසරේ මේ දක්වා පදනම් අංක 150කින් අඩු කිරීමට කටයුතු යොදා තිබෙනවා. එසේම වෙළෙඳ පොළ තුළ මුදල් කොන්දේසි ඉහිල් කිරීම සඳහාද මහ බැංකුව තවත් අමතර ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.”

මේ අතර සිය මුදල් මණ්ඩලය විසින් මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් කොන්දේසි ඉහිල් කිරීමට කටයුතු යෙදුවත් වෙළෙඳපොළ තුළ ණය පොළී අනුපාතික තවදුරටත් පහළ වැටීමට ලක්ව නොමැති බවක් නිරීක්ෂණය කර ඇතැයිද මහ බැංකුව සඳහන් කර සිටියි.

ඒ අනුව මූල්‍ය ආයතන වෙත තවදුරටත් පමාවකින් තොරව සිය ණය පොළී අනුපාතික පහත හෙළන ලෙසද මහ බැංකුව දැනුම් දී සිටියි. එසේ නොවුණහොත් නියාමකයා ලෙස මහ බැංකුව වෙළෙදපොළ පොළී අනුපාතික පහත හෙළීම සඳහා මැදිහත් වන බවද මහ බැංකුව මෙහිදී අවධාරණය කර තිබේ.

Visits: 313