කොවිඩ්-19 ඉදිරියේ Melstacorp PLC වැඩි බර DCSL අරක්කු වෙතටලු

කොවිඩ්-19 ඉදිරියේ Melstacorp PLC වැඩි බර DCSL අරක්කු වෙතටලු

කොවිඩ්-19 වසංගතය හමුවේ පහත වැටී ඇති සිය සමාගමේ දළ ආදායම් හා ලාභ සඳහා මෙන්ම රජයේ ආදායම් වර්ධනය සඳහාද තම සමාගමට අනුබද්ධිත ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා (DCSL PLC) හි අරක්කු නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කිරීම හරහා දක්වන දායකත්වය මූලික බවට හඳුනාගෙන ඇතැයි Melstacorp PLC සමාගම පවසයි.

මෙම කොවිඩ්19 වසංගතය හේතුවෙන් සිය ව්‍යාපාර වෙත සිදුව ඇති බලපෑම මෙන්ම එම බලපෑම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ තම ලැයිස්තුගත සමාගම් වෙත සිදු කළ දැනුම්දීමට ප්‍රතිචාර ලෙස Melstacorp PLC සමාගම මෙම කරුණු දක්වා තිබේ.

“අපට හැකි ඉක්මණින්ම මෙම අරක්කු නිෂ්පාදන ක්ෂේත්‍රය යළිත් සාමාන්‍ය තත්ත්වයට පත් කරගැනීමට උත්සාහ කරනවා. ඒ හරහා සමාගමේ මූල්‍ය තත්ත්වයට ඇතිව තිබෙන බලපෑම ඉතාමත් හොඳින් සමනය කරගැනීම සඳහා අවස්ථාවක් උදා කර දේවි. එය තමයි අපේ ප්‍රමුඛතම කාර්යය වෙන්නේ.” සමාගම පවසයි.

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාට අයත් Melstacorp PLC සමාගමට අනුබද්ධිතව ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගමට අමතරව එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී, බලංගොඩ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, මඩොල්සිම ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, ලංකා බෙල් (පෞද්) සමාගම, කොන්ටිනන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ පෙරිසෙල් (පෞද්) සමාගම යනාදී ලෙස විවිධාංගීකරණය වූ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක ව්‍යාපාර පවතී.

“යම් ලෙසකින් හෝ දැනට කොවිඩ්-19 නිසා රට තුළ පනවා ඇති ලොක්ඩවුන් සීමා මැයි මාසය අගදී යම් ඉහිල් කිරීමක් සිදු කර යළිත් රට යථා තත්ත්වයට පත් වුවහොත් Melstacorp PLC සමාගමේ ආයෝජන එහි ආදායම් අනුව 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා යම් මට්ටමකින් ස්ථිරසාරව පවතිනු ඇති” සමාගම පවසයි.

මෙහිදී Melstacorp PLC හි අනුබද්ධිත ව්‍යාපාර ක්ෂේත්‍ර අතරින් වැවිලි ක්ෂේත්‍රය යම් තරමක හොඳ මට්ටමකින් පවතින බවක් සමාගම සඳහන් කරයි. විශේෂයෙන්ම පසුගියදා පැවැති තේ වෙන්දේසියේදී තේ සඳහා හොඳ මිලක් ලැබීම ඊට හේතුව වී තිබේ. එසේම ඉදිරියේදී තේ සඳහා වන ඉල්ලුමද ඉහළ යනු ඇතැයි සමාගම බලාපොරොත්තු තබා තිබේ.

කෙසේ වෙතත් එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සහ බ්‍රවුන්ස් බීච් හොටෙල් පීඑල්සී හරහා විවේකය හා හෝටල් ක්ෂේත්‍රය වෙත සමාගම සිදු කර ඇති ආයෝජන මෙම වසංගත තත්ත්වයේ බලපෑමට ලක්ව ඇත. එහිදීමෙම වසංගතය ගෝලීය වශයෙන් ඉහිල් වන තුරුම විදේශ සංචාරකයන්ගේ පැමිණීමක් බලාපොරොත්තු නොවන බවද සමාගම පවසයි.

මේ අතර, සිය සමාගම යටතේ ක්‍රියාත්මක රක්ෂණ සමාගම වන කොන්ටිනන්ටල් ඉන්ෂුවරන්ස් සමාගමද මෙම වසංගතය හමුවේ අත්‍යවශ්‍ය සේවා කාණ්ඩයට වැටුණු බවත්, ඒ හේතුවෙන් එහි මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුකළ බවත් Melstacorp PLC සඳහන් කරයි.

කෙසේ වෙතත් පැවති අයහපත් තත්ත්වය නිසා බොහෝ සමාගම්හි සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වෙත බාධා එල්ලවීමත් සමගින්ම සිය දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මත ලංකා බෙල් සමාගමේ ‘වොයිස්’ සේවාවන් භාවිතය යම් තරමකින් අඩුවීමක් සිදුව ඇතැයි සමාගම මෙහිදී පවසා තිබේ. එහෙත් එම කාලසීමාවේදී සිය ‘බ්‍රෝඩ්බෑන්ඩ්’ සේවාවන් භාවිතයේ යම් ඉහළ යාමක්ද සිදුව තිබෙන බවත් සමාගම පවසයි.

ඉහත සඳහන් කළ ව්‍යාපාරවලට අමතරව Melstacorp PLC සමාගම සෞඛ්‍ය ක්ෂේත්‍රය යටතේ ව්‍යාපාර සිදු කරන අතර මෙල්ස්ටා හොස්පිටල්ස් රාගම, මෙල්ස්ටා හෙල්ත්කෙයාර් (පෞද්) සමාගම සහ මෙල්ස්ටා ලැබෝට්‍රීස් (පෞද්) සමාගම් ඒ අතර පවතී. එහිදී කොවිඩ්-19 වසංගතය පැවති සමයේදී මෙම ක්ෂේත්‍රය තුළ කිසිදු බාධාවකින් තොරව සේවා සැපයීමට සමාගම පියවර ගෙන තිබේ.

එසේම කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන සඳහාද Melstacorp PLC සමාගම රුපියල් මිලියන 25ක් පමණ වටිනා වෛද්‍ය උපාංග ඇතුළු උපකරණ තොගයක්ද රජය වෙත පරිත්‍යාග කිරීමක් සිදු කර තිබේ.

Visits: 280