කාලසටහන් ගත ශ්‍රී ලංකන් කාර්ගෝ ගුවන් ගමන් ලබන මැයි 10 සිට යළිත්

කාලසටහන් ගත ශ්‍රී ලංකන් කාර්ගෝ ගුවන් ගමන් ලබන මැයි 10 සිට යළිත්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගින් ක්‍රියාත්මක කරන කාලසටහන් ගත කාර්ගෝ ගුවන් ගමන් ලබන මැයි 10 වැනිදා සිට යළිත් වරක් ක්‍රියාත්මක කරවීමට කටයුතු යෙදීම සඳහා උපදෙස් දුන් බව ආර්ථිකය යළි ගොඩනැංවීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.

මෙම කමිටුව මගින් පසුගියදා පැවැත්වුණු ගුවන් භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳව සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ලන්ඩන් නුවර දක්වා සතියකට අවස්ථා දෙකක්, ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර දක්වා සතියකට එක්වරක්, මාලදිවයිනේ මාලේ නුවර දක්වා සතියකට තුන් වරක්, එක්සත් අරාබි එමීරයේ ඩුබායි නුවර දක්වා සතියකට දෙවතාවක්, සිංගප්පූරු ගුවන් තොටුපොළ වෙත සතියකට දෙවතාවක්, ජපානයේ නරීටා ගුවන් තොටුපොළ වෙත සහ චීනයේ ගමනාන්ත තුනක් වෙත සතියකට හයවතාවක් සතියකට එක් වතාවක් යනාදී ලෙස කාලසටහන්ගත ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ සේවා මෙහෙයුම් සිදු කිරීමට කටයුතු යොදන බව පවසයි.

එසේම ඉන්දියාවේ චෙන්නායි, බංග්ලාදේශයේ ඩකා, සෞදි අරාබියේ දෝහා සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපොළ වෙතද එදින පටන් ශ්‍රි ලංකන් ගුවන් සමාගම කාලසටහන්ගත කාර්ගෝ සේවා ආරම්භ කරවන බව සඳහන් වෙයි.

මේ අතර එමිරේට්ස් ගුවන් සේවයද ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට සිය කාලසටහන්ගත කාර්ගෝ සේවා ආරම්භ කිරිමට බලාපොරොත්තුව සිටින බවත් පවසයි. එසේම අනෙකුත් ගුවන් යානා සමාගම්ද මේ වනවිට කටුනායක සිට මෙහෙයුම් සිදු කිරීම සඳහා ඉල්ලීම් කර ඇති අතර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එහිදී අදාළ දින ගණන් පිළිබඳව සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ගුවන් සේවා අතර සම්බන්ධීකරණය කරවන බවත් පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය අප්‍රේල් 02 වැනිදා නිකුත් කළ නිවේදනයකට අනුව සිය වියදම් ඉතිරි කරගැනීමේ ක්‍රමවේදය අනුව, ඊට ඍජු බලපෑමක් ඇති ගුවන් භාණ්ඩ හුවමාරු සේවා හැර අනෙකුත් සියලුම ගුවන් ගමන් අප්‍රේල් 08 වැනිදා සිට අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබුණි.

Visits: 49