ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක ධුරයට ලලිත් සෙනෙවිරත්න පත්කෙරේ

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක ධුරයට ලලිත් සෙනෙවිරත්න පත්කෙරේ

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ධුරය සඳහා ලලිත් මොහාන් සෙනෙවිරත්න මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි. 2020 මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුව ඇතැයි සමාගම සඳහන් කරයි.

පසුගිය ජනවාරි මාසයේදී සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙහි ස්වාධීන නොවන – විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්විය. කෙසේ වෙතත් මෙම නව තනතුරත් සමගම ඒ මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ විධායක අධ්‍යක්ෂ ධුරයට පත් කෙරුණු බවද ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී පවසයි.

වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන මොහාන් ලලිත් සෙනෙවිරත්න මහතා, බ්‍රිතාන්‍යයේ කෙන්ට් විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලයෙන් විද්‍යුත් ඉංජිනේරුවිද්‍යාව පිළිබඳව උපාධිය ලබා ගෙන ඇත. 1982 වසරේදී එවකට ශ්‍රී ලංකා දුරකතන සන්නිවේදන දෙපාර්තමේන්තුව ලෙස හැඳින්වුණු වත්මන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා බැඳුණු සෙනෙවිරත්න මහතා, 1988 දී දකුණු ආසියාවේ පළමු ජංගම දුරකතන ජාලය ලෙස බිහි වූ ‘සෙල්ටෙල්හි’ ඉංජිනේරු ප්‍රධානියා ලෙස පත්වීම් ලැබ ඇත.

පසුව ඔහු සිංගප්පූරුවේ පිහිටි මොටොරෝලා සමාගමේ කලාපීය ප්‍රධානියා ලෙස සේවයට එක්විය. මොටරෝලා සමාගම සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම අතර සබඳතාව වර්ධනයේදී වැඩි වැඩ කොටසක් සිදුකළ තැනැත්තා ලෙසද සෙනෙවිරත්න මහතා සැලකෙයි. 1996 වසරේදී යාපනය ඇතුළුව තවත් ප්‍රදේශ වෙත දුරකතන සේවා සැපයීම සඳහා ටෙලිකොම් ආයතනයට මොටරෝලා සමාගමේ දායකත්වය හිමි කරගැනීමට ඒ මහතාගේ සේවය වැදගත් වූ බවද ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් වන්නේ ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන්, පරිපාලන සේවා නිලධාරී ආනන්ද කිත්සිරි සෙනෙවිරත්න, ඉංජිනේරු රංජිත් ගංගානාත් රූබසිංහ යන මහත්වරුන්ය. ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙස මෙරට ප්‍රකට අපනයනකරුවෙකු වන රොහාන් ප්‍රනාන්දු මහතා කටයුතු කරයි.

Visits: 187