මැජෙස්ටික් සිටි පාලනාධිකාරිය ඇඳිරි නීති සමයේ කඩ සාප්පු කුලී එපා කියයි

මැජෙස්ටික් සිටි පාලනාධිකාරිය ඇඳිරි නීති සමයේ කඩ සාප්පු කුලී එපා කියයි

කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් පනවා ඇති ඇඳිරි නීති කාලසීමාවේදී මැජෙස්ටික් සිටි සුපිරි සාප්පු සංකීර්ණයේ කඩසාප්පු හිමිකරුවන්ගෙන් ඊට අදාළ මාසික කුලී ගාස්තු අයකර නොගැනීමට තීරණය කර තිබෙන බව එම සාප්පු සංකීර්ණය හිමි CT Land Development PLC සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත පවසා සිටියි.

සිය ලැයිස්තුගත සමාගමක් ලෙස මෙම කොවිඩ්-19 වසංගතයෙන් ව්‍යාපාර මෙහෙයුම් වෙත එල්ල වුණු බලපෑමත්, එම බලපෑම් වෙත මුහුණ දෙන ආකාරයත්, අනාගතයේදී කොවිඩ්-19 නිසා සමාගමේ ව්‍යාපාර වෙත එල්ල වන බලපෑමත් යනාදිය සඳහන් කරන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් CT Land Development PLC සමාගම කොටස් වෙළෙඳ පොළ වෙත මෙම කරුණු සඳහන් කර තිබේ.

මෙලෙස රජය සහ සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති නිර්දේශ අනුගමනය කරමින් පසුගිය මාර්තු 17 වැනිදා සිට මේ දක්වාම මැජෙස්ටික් සිටි සුපිරි සාප්පු සංකීර්ණය වසා දැමීමට ලක්ව තිබෙන බවත්, තත්ත්වය යළිත් ප්‍රකෘතිමත් වූ විට සාප්පු සංකීර්ණයේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ විවෘත කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවත් CT Land Development PLC සමාගම මෙහිදී සඳහන් කර තිබේ.

“අපි මෙතැනදී ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළදී කඩසාප්පු තුළ විදුලි පරිභෝජනය පිළිබඳව අවධානය යොමු කරනවාට වඩා එම කාලසිමාව සඳහා කුලී ගාස්තුවලින් තොර ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒ වගේම මේ සාප්පු සංකීර්ණය සම්පූර්ණයෙන්ම විවෘත කරවීමෙන් පස්සේ, කොවිඩ්-19 රට තුළ හට ගෙන ඇති දරුණු ආර්ථික බලපෑම් පිළිබදව අවධානය යොමු කරමින් අපි යම් කාලසීමාවක් සඳහා කුලී ගාස්තුවලින් තොර/ නියමිත අගයට වඩා අඩු කුලී මුදල් ගාස්තුවක් අය කරගැනීම යනාදී ක්‍රමවේද වෙත පිවිසෙන්න පුළුවන්.” සමාගම මෙහිදී සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් කඩසාප්පු හිමියන් වෙත ලබා දෙන මෙම තහවුරුවත් සමගම 2020 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා වන සමාගමේ ආදායම සහ ලාභය වෙත බලපෑම් එල්ල වෙනු ඇති බවත්, එය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන ඉදිරි මූල්‍ය වර්ෂය සඳහාද එලෙසම වනු ඇති බවත් CT Land Development PLC සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා තිබේ.

“ඇඳිරි නීති තත්ත්වය ලිහිල් කිරීමෙන් අනතුරුව අපගේ සාමාන්‍ය මෙහෙයුම් යථා තත්ත්වයට පත් කරගැනීමට අවස්ථාව ලැබෙන තුරුම ඇති විය හැකි අලාභයන් පිළිබඳව පුරෝකතන ඉදිරිපත් කිරීම අසීරුයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වෙත බොහෝ සංචාරකයන් පැමිණෙන රටවල් මෙම වසංගතයෙන් මිදීම සඳහා ගත වන කාලයත් සාප්පු සංකීර්ණයේ ව්‍යාපාර කටයුතු වෙත මෙන්ම සිය සමාගම වෙතත් බලපානාවා.” CT Land Development PLC සමාගම පවසයි.

කෙසේ වෙතත් උද්ගතව පවතින තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය පරිදි බැංකු වෙතින් ලබා දිය හැකි සහන සම්බන්ධයෙන්ද සිය සමාගම මේ වනවිටත් සාකච්ඡා කරමින් පවතින බවද CT Land Development PLC සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

බම්බලපිටියේ පිහිටි මැජෙස්ටික් සිටි සුපිරි සාප්පු සංකීර්ණය 1991 වසරේදී සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ. එහි කඩසාප්පු 240කට ආසන්න ප්‍රමාණයක් පිහිටා ඇති අතර, ආපනශාලා, සුපිරි වෙළෙඳ සැල්, ළමා විනෝද ක්‍රීඩා ස්ථාන, බැංකු මෙන්ම සිනමාශාලාවක්ද පිහිටා ඇත. මෙම කඩසාප්පු සඳහා වෙන්වී ඇති සමස්ත භූමි ප්‍රමාණය වර්ග අඩු 250,000 කි.

2008 වසරේදී මෙම ගොඩනැගිල්ල රුපියල් මිලියන 176ක් වැය කරමින් අලුත්වැඩියාවකට ලක් කෙරුණු අතර, 2019 දී යළිත් වරක් රුපියල් මිලියන 450ක් වැය කරමින් එය අලුත්වැඩියාවකට ලක් කිරීමකට නියමිතව තිබුණු බවටත් මාධ්‍ය වාර්තා පළ විය.

Visits: 232