ලොව සිව්වැනි ධනවතා ගුවන් සමාගම්වල තිබූ සිය කොටස් විකුණයි

ලොව සිව්වැනි ධනවතා ගුවන් සමාගම්වල තිබූ සිය කොටස් විකුණයි

ලොව සිව්වැනියට ඉහළම වත්කමක් හිමි පුද්ගලයා වන වොරන් බෙෆට් සිය Berkshire Hathaway සමාගම යටතේ තිබූ එක්සත් ජනපද ගුවන් සමාගම් හතරක කොටස් අලෙවි කර ඇතැයි වාර්තා වෙයි. අද දිනයේදී පැවැත්වුණු Berkshire Hathaway සමාගමේ කොටස් හිමිකරුවන් අතර පැවැති වාර්ෂික හමුවේදී ඔහු මේ කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව, එම සමාගම සතු ඩෙල්ටා එයාර් ලයින්ස් ගුවන් සේවයේ කොටස් අතරින් 11% ක්, ඇමෙරිකන් එයාර්ලයින්ස් ගුවන් සේවයේ කොටස් අතරින් 10%ක්, සවුත්වෙස්ට් එයාර්ලයින්ස්හි කොටස් අතරින් 10% ක් සහ යුනයිටඩ් එයාර්ලයින්ස් හි කොටස් අතරින් 9%ක් යනාදී ලෙස මෙම කොටස් අලෙවිය සිදුව තිබේ.

මෙහිදී සිය කොටස් හිමිකරුවන් අමතා ඇති වොරන් බෙෆට් ලෝකය වෙනස් වී ඇති බවත්, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇතිව ඇති ගෝලීය සෞඛ්‍ය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෑද අනාගතයේදී කොටස් වෙළෙඳ පොළ වෙත සිදුවිය හැකි තත්ත්වයන් පිළිබඳව තමන්ට කිසිදු අදහසක් නොමැති බවත් පවසා තිබේ.

“කවුරුවත් හෙට දිනයේදී වෙළෙඳ පොළට මොනවාද වෙන්නේ කියලා දන්නවා කියලා මම විශ්වාස කරන්නේ නෑ.” ඔහු පවසා ඇත.

රොයිටර් පුවත් සේවය සඳහන් කරන ආකාරයට ඊයේ දිනය වනවිට මේ වසරේ පළමු කාර්තුව තුළදී වොරන් බෙෆට් ගේ Berkshire Hathaway සමාගම ඩොලර් බිලියන 50ක පාඩුවක්ද වාර්තා කර තිබේ.

මෙලෙස එක්සත් ජනපද ගුවන් යානා වෙත සිය මුදල් ආයෝජනය කිරීමට ඔහුගේ Berkshire Hathaway සමාගම පියවර ගෙන තිබුණේ 2016 වසරේදීය. එහෙත් එම ආයෝජන තීරණය තමන් සිදු කළ වැරැද්දක් බව වොරන් බෙෆට් මෙම කොටස් හිමිකරුවන්ගේ වාර්ෂික හමුවේදී පවසා තිබීමත් විශේෂත්වයකි.

නව කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වූ තත්ත්වයත් සමග එක්සත් ජනපදයේ සංචාරක කර්මාන්තය දරුණු කඩා වැටීමකට ලක්විය. ඒ හේතුවෙන් මේ වනවිට එරට ගුවන් සමාගම් සිය ගුවන් ගමන් දහස් ගණනකින් අවලංගු කර ඇති අතර, ගුවන් යානා දහස් ගණනක් භාවිතයෙන් ඉවත් කිරීමටත් සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් මෙම අර්බුදය හට ගැනීමට පෙර එරට ගුවන් යානා කර්මාන්තය වඩාත් ලාභදායක අවස්ථාවක් වී තිබූ අතර, සිය බලාපොරොත්තුවට අනුව තවත් සමාගම් කිහිපයක් වෙතම මුදල් ආයෝජනයට අදහස් කරගෙන තිබූ බවත් වොරන් බෙෆට් මෙහිදී අනාවරණය කර තිබේ.

“මේ විදියට මුදල් කන බවට අප සිතන කිසිදු සමාගමක් වෙත ඉදිරියේදී මුදල් ආයෝජනය කරන්නේ නැහැ.” වොරන් බෙෆට් සිය Berkshire Hathaway හි කොටස් හිමිකරුවන් වෙත අවධාරණය කර ඇත.

Visits: 188