ලංකා සතොසට නව ප්‍රධාන විධායක නිලධාරියෙකු සොයයි

ලංකා සතොසට නව ප්‍රධාන විධායක නිලධාරියෙකු සොයයි

රජය යටතේ ක්‍රියාත්මක දැවැන්තම සිල්ලර වෙළෙඳ සැල් ජාලය වන ‘සතොස’ අලෙවි සැල හිමි ‘සීමාසහිත ලංකා සතොස’ ආයතනය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු සොයන බව එම සමාගම අද ප්‍රසිද්ධ මාධ්‍යවල දැන්වීම් පළ කර තිබේ.

“ලංකා සතොස ලිමිටඩ් ආයතනය රට පුරා සිය වෙළෙඳ ජාලය සංවර්ධනය කිරීම සඳහා මෙහෙයුම් කළමනාකරණය කිරීමට සුදුසුකම් හා අත්දැකීමෙන් පිරිපුන් ප්‍රවීණයෙකු සොයයි” යන හිසින් මෙම දැන්වීම පළ කර තිබේ.

රාජ්‍ය අංශයේ විශාලතම වෙළෙඳ ජාලය වන ලංකා සතොස 2020/21 දී තවත් නවීකරණය කර වර්ධනය කිරීමට අපේක්ෂාව බව මෙම දැන්වීමේ සඳහන් වී තිබේ.

ඒ අනුව මෙම නව ප්‍රධාන විධායක නිලධාරියා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පරමාදර්ශී මිල නියම කරන්නෙකු, ‘ජනතාවගේ ස්පන්දනය’ හඳුනාගනිම්න් කටයුතු කළ හැකි අයෙකු විය යුතු බවත් ලංකා සතොස පවසයි. එසේම සිල්ලර, තොග වෙළෙඳාහ හා සුපිරි වෙළෙඳ ජාල පිළිබඳ තම ප්‍රායෝගික අත්දැකීම් උපයෝගී කරගනිමින් නව වෙළෙඳ උපාය මාර්ග උත්පාදනයේ යෙදවීමටද සමත් විය යුතු බව සඳහන් වෙයි.

“ඔහු/ඇය සභාපතිවරයා වෙත වාර්තා කළ යුතු අතර, ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා ස්වාධීන තීරණ ගැනීමට අවශ්‍ය අධිකාරිත්වය ලබා දෙනු ඇත.” දැන්වීමේ වැඩිදුරටත් සටහන්ව ඇත.

මෙහිදී ප්‍රධාන විධායක නිලධාරී ධුරය සඳහා ඉල්ලුම් කරන්නා වයස අවුරුදු 40ට නොඅඩු අවුරුදු 60ට නොවැඩි විය යුතු බවත් කොන්දේසියකි.

එසේම ප්‍රධාන විධායක නිලධාරියාගේ මූලික වැටුප රුපියල් 250,000ක් වන අතර ඊට අමතරව කාර්ය සාධන දීමනාව ලෙස රුපියල් 75,000ක්, ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 50,000ක්, ඉන්ධන දීමනාව ලෙස රුපියල් 15,000ක් සහ ජංගම දුරකතන ප්‍රතිපූර්ණය රුපියල් 9,000ක් වන බවත් සීමාසහිත ලංකා සතොස ආයතනය පවසයි.

ලංකා සතොස ආයතනයේ වත්මන් සභාපතිවරයා වන්නේ ඩයලොග් සමාගමේ ජ්‍යෙෂ්ටතම අලෙවි කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සහ එහි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරීවරයා ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා මහතායි. ඩයලොග් ටී.වී. ආයතනයේ ආරම්භක ප්‍රධාන විධායක නිලධාරිවරයා වූයේද ඒ මහතාය. ඔහු වසර ගණනාවක අත්දැකීම් සහිත මෙරට ප්‍රමුඛ පෙළේ අලෙවිකරණ වෘත්තිකයෙකු ලෙසද සැලකෙයි. ඔහු සතොස සභාපති ධුරය භාරගත්තේ වැටුප් බලාපොරොත්තුවකින් නොවන බවත් ආරංචි මාර්ග පවසයි.

Visits: 99