කොවිඩ්-19 හමුවේත් එලිෆන්ට් හවුස් ශක්තිමත් මුදල් ස්ථාවරයකලු

කොවිඩ්-19 හමුවේත් එලිෆන්ට් හවුස් ශක්තිමත් මුදල් ස්ථාවරයකලු

කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තියත් සමගම රට තුළ පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් සිය නිෂ්පාදන කටයුතු සඳහා මෙන්ම බෙදාහැරීම් සඳහාද බලපෑම් එල්ල වුවත්, අද වනවිට සිය සමාගම ශක්තිමත් මුදල් ස්ථාවරයක පවතින බව මෙරට තුළ පාන වර්ග සහ ශීත කළ පැණිරස ආහාර සම්බන්ධ සුප්‍රසිද්ධ ‘එලිෆන්ට් හවුස්’ සන්නාමය හිමි සිලෝන් කෝල්ඩ් ස්ටොර්ස් පීඑල්සී (CCS PLC–Ceylon Cold Stores) සමාගම පවසයි. එසේම අවශ්‍ය විටෙක බැංකු පහසුකම් ලබා ගැනීමේ හැකියාවක්ද තම සමාගමට පවතින බවත් ඔවුන් කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියටත් මෙම ස්ථාවරය පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන බවත්, අනාගතයේදී ඇති වන අවශ්‍යතාවය අනුව තවදුරටත් බැංකු වෙතින් පහසුකම් ලබා ගන්නා බවත් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා තිබේ.

කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සිය ව්‍යාපාර කටයුතු වෙත එල්ල වී ඇති බලපෑමත්, ලැයිස්ගුත සමාගමක් ලෙස එම බලපෑම් වෙත මුහුණ දෙන ආකාරයත්, අනාගතයේදී කෝවිඩ්-19 නිසා සමාගමේ ව්‍යාපාර වෙත එල්ල වන බලපෑමත් යනාදිය සඳහන් කරන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී සමාගම කොටස් වෙළෙඳ පොළ වෙත මේ කරුණු සඳහන් කර ඇත.

“රජය විසින් පනවන ලද ඇඳිරි නීතිය ඇතුළු අනෙකුත් සීමා කිරීම් නිසා පාන වර්ග සහ ශීතකල ආහාරවර්ග වෙළෙඳ පොළේ පැවැති පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ධාරිතාව සැලකිය යුතු ලෙස පහත වැටීමක් සිදු වුණා. ඒ වගේම කර්මාන්තශාලා තුළ සහ සේවකයන් තුළ පවත්වා ගෙන යා යුතුවූ සෞඛ්‍ය සහ ආරක්ෂිත ක්‍රමවේද නිසා නිෂ්පාදන ක්‍රියාකාරකම් වෙත යම් බාධා ඇති වුණා.” මෙම ලිපියේ සඳහන් වෙයි.  

ඒ අනුව ඇඳිරි නීතිය ඉවත් කළ විගසම සිය ධාරිතාවන් සුපුරුදු මට්ටමකට වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා මෙහිදී පවසයි. එහෙත් සිය නිෂ්පාදනවල අලෙවිය මෙම කොවිඩ්-19 හරහා පාරිභෝගික වියදම් කිරීම් වෙත එල්ල වී ඇති බලපෑම මත රඳාපැවතිය හැකි බවට සිය සමූහය අපේක්ෂා කරන බවද සභාපතිවරයා පවසා ඇත.

මේ අතර, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම් සමූහයට අයත් සමාගමක් වන සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී සමාගම එම සමූහය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම ආකාරයේ වියදම් කපා හැරීම් සඳහාද සූදානමින් සිටින සභාපතිවරයා මෙහිදී දන්වා තිබේ.

ඒ යටතේ සමූහයේ සමාගම් මූල්‍යමය වශයෙන් සහ මූල්‍යමය නොවන වශයෙන් දක්වන සාර්ථකත්වයන් සතිපතා නිරීක්ෂණයටත්, විශේෂයෙන්ම සතිපතා මුදල් ඉලක්ක සහ වියදම් පාලනය සඳහා සිදු කරන මුල පිරීම් පිළිබඳව අවධානය යොමු කරන බවත් පැවසෙයි.

ඒ අනුව අත්‍යවශ්‍ය නොවන සියලුම ආකාරයේ ප්‍රාග්ධන වියදම් නැවැත්වීමට කටයුතු යොදා ඇත. එසේම මීට පෙරදී සඳහන් කළ පරිද්දෙන්ම ලබන ජූනි දක්වා මාස තුනක කාලයක් සඳහා සේවක වැටුප් 5% සිට 60% දක්වා ප්‍රමාණයකින් කපා දැමීමටද නියමිතව ඇත. ඒ අනුව මෙම  තීරණ සියල්ලම සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී වෙතද අනුකූල බව සභාපතිවරයා පවසා තිබේ.

Visits: 198